සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 868

දෙපරන්ස

(කථා.) නා. පරස්පර කතා; එකට එක විරුද්ධ කීම්; සැක සහිත කීම්.

දෙපරැන්ද

නා. දෙපා අතරෙහි වු ඉඩ ප්‍රමාණය.

දෙපහර එන්ජිම

(පාරිභා.) නා. (සම්පීඩන, ශූන්‍යක යන) පිස්ටන් ප්‍රහාර දෙකින් ක්‍රියා කරන එන්ජිම.

දෙපළ

1. නා.ප්‍ර. ස්ථාන දෙක.
2. නා.ප්‍ර. පුද්ගලයෝ දෙදෙනා.

දෙපා

1. වි. කකුල් දෙකක් ඇති; පා දෙකකින් යුක්ත.
2. (ඡන්ද.) වි. පාද දෙකක් ඇති.
3. වි. පැති දෙකක සහිත; දෙපැත්තට ම සම්බන්ධ.
නා.ප්‍ර. කකුල් දෙක; කකුල් දෙකකින් යුතු සත්ත්වයා.

දෙපාර්තමේන්තුව

නා. යම්කිසි කාර්යයක් ක්‍රියාත්මක කිරීම සඳහා වන ආයතනය; යම් විශේෂ සේවාවක් පවත්වාගෙන යෑම සඳහා රජය මගින් හෝ වෙනත් පාලනාධිකාරයක් මගින් හෝ පවත්වාගෙන යන ආයතනය.

දෙපාර්ශ්වය

(කථා.) නා. දෙපසෙහි කණ්ඩායම් දෙක; පැති දෙක; පාර්ශ්ව දෙක.

දෙපාව

නා. කුඹුරු යායක් මැදින් ගලා බස්නා ජලමාර්ගයේ දෙපැත්ත; ඇළවේලි දෙකක් අතරින් ගලා යන දියපාර.

දෙපැත්ත

1. නා. කොටස් දෙක; දෙපළුව.
2. නා. අංශ දෙක; දෙපස.
3. නා. දෙදිසාව.
4. නා. දෙ ආකාරය; දෙවිධිය.
5. නා. කණ්ඩායම් දෙක; දෙපිරිස.

දෙපිට

1. නා.ප්‍ර. උඩු හා යටි පැති දෙක.
2. නා.ප්‍ර. ඉදිරිපස හා පසුපස.
3. නා.ප්‍ර. යටි අදහස හා උඩු අදහස.
වි. දෙවැනි; ද්විතීයික.

දෙපිටකාටු

වි. එකක් කියා අනෙකක් කරන; දෙපැත්ත කොට වන; පිළිවෙතක් නැති.

දෙපියන් කවචය

(පාරිභා.) නා. (මට්ටි බෙල්ලාගේ) පියන් දෙකක් මෙන් පිහිටි පියලි දෙක.

දෙපියලි පැළය

(පාරිභා.) නා. කලලය බීජ පත්‍ර දෙකකින් යුත් පැළය.

දෙපිල

1. නා. කණ්ඩායම් දෙක; දෙපාර්ශ්වය.
2. නා. පොල් ගැසීම, අං ඇදීම ආදි ක්‍රීඩාවලදී බෙදෙන උඩුපිල හා යටිපිල
3. නා. දෙගොඩ; ඉවුරු දෙක.

දෙපෙති ගැහෙනවා

(කථා.) ක්‍රි. (බිලිඳකු) දෙපය බිම තබා ඇවිදින්නට සැරැසෙනවා.

දෙපෝය

1. නා. පුර පසළොස්වක හා අව පසළොස්වක.
2. නා. දෙවන පෝය.
3. නා. සති දෙක; අඩ මස.
4. නා. අඩ මස් දෙක; චන්ද්‍රමාසය.

දෙබර

නා. ගස්වල අතු, පර්වත පියසි ආශ්‍රිතව වද බඳින ඉතා විෂ තුඩක් සහිත මැසි වර්ගයක්.

දෙබරාදු

1. (කථා.) වි. බාල; හොඳ වර්ගයේ නොවන; නොවටිනා.
2. වි. කපට; වංචා සහගත; උපායශීලී.

දෙබලය

1. නා. ගසක අතු බෙදි ගිය තැන; කරුව.
2. නා. පක්ෂියකුගේ පක්ෂ පත්‍රයෙහි පනාවක් මෙන් අතු බෙදී ගිය නාරටිය.
3. (කථා.) නා. කරුවක් සහිත මුක්කුව.
4. (කථා.) නා. කෙක්ක; බලට්ට.

දෙබල් කටුව

නා. අනින ආයුධ විශේෂයක්; තෝමරය; දෙබල කටුව.

දෙබස

1. නා. (ව්‍යාක.) ඒකවචනය සහ බහුවචනය යන දෙක.
2. නා. සාකච්ඡාව; සංවාදය.

දෙබෑ

1. වි. පලු දෙකක් ඇති; කොටස් දෙකක් ඇති.
2. වි. දෙබිඩි; දෙකක් එකට බද්ධ වූ.

දෙබිඩි

වි. දෙකක් එකට බැඳුණු; ද්විබද්ධය.
නා.ප්‍ර. දෙගිඩියාව; අවිනිශ්චිත භාවය.

දෙබිඩි දරුවා

නා. සිරුරේ කිසියම් තැනකින් එකට බැඳී උපන් නිවුන් දරු දෙදෙනා.