සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 900

නානුමුරය

1. නා. ස්නානය පිළිබඳ මෙහෙය; ස්නාන වාරය සම්බන්ධ කාර්යය.
2. නා. නෑමේ දී හිස ඇඟ ගැල්වීම සඳහා ගනු ලබන ආලේප වර්ග.

නානුරෝම

නා.ප්‍ර. පාසි ආදියේ ඇති වන මැලියම් වැනි කාබනික කේශර විශේෂයක්; නානු සහිත කෙඳි.

නාපට

නා.ප්‍ර. නිල්පාට වස්ත්‍රය; නිල්පැහැ රෙද්ද.

නාපන්සී

නා.ප්‍ර. හුස්ම ගැනීමත් හෙළීමත් පිළිබඳ මනා සිහිය; ආනාපාන සතිය.

නාපිතයා

නා. කරණවෑමියා.

නාබරණ

නා.ප්‍ර. නාගයකු ආභරණය වශයෙන් ඇති තැනැත්තා; මෙහෙසුරු; ශිව දෙවි.

නාභස

වි. අහසෙහි පිහිටි; ආකාශයට අයත්.

නාභ්‍යන්තරය

[නාභි + අන්තරය]
(පාරිභා.) නා. කාචයක් හා ඒ කාචයේ නාභියත් අතර ඇති ඉඩ ප්‍රමාණය; යම්කිසි කාචයක තලයත් ඒ කාචයෙන් කිරණ අභිසරණය වී තැනෙන නාභියත් අතර ඇති (දුර) ඉඩ ප්‍රමාණය.

නාභි ශක්තිය

(පාරිභා.) නා. කාචයකින් ආලෝකය අභිසරණය වී තැනෙන නාභියෙහි ඇති වැඩිමනත් තපෝගුණය.

නාභිචක්‍රය

නා. පෙකණිය මධ්‍ය කේන්ද්‍රය වන්නා වූ හාත්පස ප්‍රදේශය; හැම අතට විහිදී ගිය නාඩි ආදියෙහි මූලස්ථානය.

නාභිදූරය

(පාරිභා.) නා. කාචයක් පසු කර යවන ලද කිරණ ධාරාවක් නාභිගත වූ කේන්ද්‍රයේ සිට ඵ් කාච තලයට ඇති දුර.

නාභිනාඩිය

නා. පෙකණිවැල; නාභි නාලය.

නාභිමණ්ඩලය

1. නා. පෙකණිය හා එය හාත්පස පෙදෙස.
2. නා. රථ චක්‍රයක මධ්‍ය ප්‍රදේශය.

නාභිමධ්‍යය

නා. ගෘහයක පදනමේ කොනින් කොනට අදින ලද ලණු පොට මුණ ගැහෙන ස්ථානය.

නාභිය

1. නා. පෙකණිය; නැබ.
2. නා. රථ චක්‍රයක මධ්‍යය; බොස් ගෙඩිය.
3. (පාරිභා.) නා. ආලෝකය අභිසාරි ව රැස් වන ලක්ෂ්‍යය හෝ ප්‍රකාශ පද්ධතියක් තුළින් ගමන් කර අපසරණය වී විහිදෙන සේ දිස්වන ලක්ෂ්‍යය.

නාභිලක්ෂ්‍යය

(පාරිභා.) නා. කාචයකින් කිරණ අභිසරණය වීමෙන් තැනෙන්නා වූ කේන්ද්‍රිය චිහ්නය; කැඩපතක හෝ කාචයක අක්ෂයට සමාන්තර ව එන කිරණ ධාරා එකිනෙක හමුවන්නා සේ පෙනෙන ලක්ෂ්‍යය.

නාභීය ලක්ෂ්‍යය

(පාරිභා.) නා. කාචයක් හරහා ගමන් කරන කිරණ අභිසරණය වී ඵකතු වන ලක්ෂ්‍යය හෝ අපසරණය වී විහිදෙන ලක්ෂණය.

නාභීයදුර

(පාරිභා.) නා.ප්‍ර. ප්‍රකාශ කේන්ද්‍රයේ හෝ ධ්‍රැවයේ හෝ සිට ලෙන්සයක හෝ ගෝලීය දර්පණයක හෝ ප්‍රධාන නාභියට දුර.

නාභීයනය

නා. (කිරණාධාරා) එක්තැන් කරවීම; එක් ලක්ෂ්‍යයකට යොමු කිරීම.

නාභීරජ්ජුව

(පාරිභා.) නා. පෙකණි වැල.

නාම ගෝත්‍රය

නා. පුද්ගලයකුගේ නාමය හා කුලගෝත්‍රය; මවුපියන් විසින් දෙන ලද නම හා පරම්පරා නාමය.

නාම පදය

නා. (ව්‍යාක.)ශබ්ද ප්‍රකෘතියකට ලිංග විභක්ති වචන ගැනීමෙන් සෑදෙන ශබ්ද හෙවත් පදයක් බවට පත්වන නාමය; ව්‍යාකරණයෙහි ක්‍රියා, නිපාත, උපසර්ග යන පද තුන් වර්ගයෙන් බාහිර වූ සියලුම පද; නමක් වශයෙන් ව්‍යවහාර වන වචනය.

නාම පුවරුව

නා. ආයතන, කාර්යාල ආදි ස්ථානයක එය හැඳින්වීම සඳහා නම ලියා සිටුවා හෝ එල්ලා තබන පුවරුව.

නාම යෝජනාව

නා. ජනතා ඡන්දයෙන් මහජන නියෝජිතයන් තෝරා ගැනීම සඳහා අපේක්ෂකයන්ගෙ නම් නාමයෝජනා පත්‍රයක් මගින් නීත්‍යනුකූලව ඉදිරිපත් කිරීම; තනතුරක් උදෙසා සුදුස්සකුගේ නමක් යෝජනා කිරීම.