සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 959

නීච රාශිය

නා. (ජ්‍යෝති.) ග්‍රහයකුට බලය අඩු ම රාශිය; ඒ ඒ ග්‍රහයාගේ උච්ච රාශියෙන් සත්වැනි රාශිය; නීචරැස.

නීච ලෝහය

(පාරිභා.) නා. රිදී රත්රන් හැර, අනිකුත් ලෝහ.

නීචයා

නා. අශිෂ්ටයා; පහත් ගති පැවතුම් ඇත්තා; අධමයා.

නීචායුෂ

[නීච + ආයුෂ]
නා.ප්‍ර. අඩු හෝ කෙටි ආයුෂ; හීනායුෂ.

නීචාසනය

[නීච + ආසනය]
නා. පහත් ආසනය; මිටි අසුන.

නීඩය

1. නා. කූඩුව; කැදැල්ල.
2. නා. නවාතැන් පළ.

නීත

වි. පමුණුවන ලද; හෙළි කරන ලද.

නීත්‍යනුකූල

[නීති + අනුකූල]
වි. නීතියට එකඟ; නීතියට අනුගත; නීති විරෝධී නොවන.

නීත්‍යනුකූල අයිතිය

(පාරිභා.) නා. නීතියට අනු ව කිසියම් දේපළක් හෝ වස්තුවක් පිළිබඳ ව ලැබෙන හිමිකම; නීති ප්‍රතිපාදනවලට අනු ව ලැබෙන අයිතිය.

නීත්‍යනුකූල භාරය

(පාරිභා.) නා. (දරුවකු පිළිබඳ) අධිකරණ තීරණයකින ලැබෙන භාරකාරත්වය ලැබීමේ අයිතිය.

නීත්‍යාවලිය

[නීති + ආවලිය]
නා. නීති මාලාව; නීති පද්ධතිය.

නීති කෙටුම්පත

නා. නීති සැලසුම් ලේඛණය; නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කරන රාජ්‍ය පාලනයට අවශ්‍ය ව්‍යවස්ථා අණ පනත්.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව

නා. පාලන තන්ත්‍රයට අදාළ සියලු ම ව්‍යවස්ථා අණපනත් ආදිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සැලසුම් කරන ආයතනය; නීති අණපණත් අවසන් වරට සකස් කරන ආයතනය.

නීති කෙටුම්පත්කරු

නා. නීතිය සැලසුම් කරන්නා; රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය ව්‍යවස්ථා අණපනත් ආදිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සැලසුම් කරන්නා; නීති කෙටුම්පත් කරන තැනැත්තා.

නීති ග්‍රන්ථය

නා. නීතිය ඇතුළත් පොත.

නීති පද්ධතිය

නා. නීති පිළිවෙළ; නීති පරිපාටිය; අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධ නීති සමූහය.

නීති මාලාව

නා. ජන ජීවිතයේ යහපත් චර්යාව සඳහා පනවනු ලබන රීති පද්ධතිය; පොදු ජන ජීවිතය විනයානුකූල ව, සදාචාරාත්මක ව, සාධාරණ ව පවත්වාගෙන යාමට යොදා ගන්නා විෂය; ජන සමාජයක් විසින් අවශ්‍යයෙන් ම පිළිපැදිය යුතු අධිකරණයක දී යොදා ගනු ලබන චර්යා ධර්ම සමූහය.

නීති වාක්‍යය

නා. යහපත් ප්‍රකාශය; සදූපදේශය; සුභාෂිතය.

නීති වාර්තා

නා.බහු. උසස් අධිකරණවල නඩු තීන්දු ඇතුළත් වාර්තා.

නීති විද්‍යාව

නා. මිනිස් සමාජයෙහි පවත්නා සම්මත නීති සංගෘහිත ශාස්ත්‍රය; මානව නීති පිළිබඳ දර්ශනය පෙන්නුම් කරන ශාස්ත්‍රය.

නීති විරෝධී

වි. නීතියට පටහැනි; නීතිමය විධිවිධානවලට එකඟ නොවන; ව්‍යවස්ථානුරූප නොවන.

නීති විරෝධී ක්‍රියාව

නා. නීතියට එකඟ නොවන කාර්යය; නීතියට පටහැණි කටයුත්ත.

නීති ශාස්ත්‍රය

නා. ආචාරධර්ම සංගෘහිත ශාස්ත්‍රය; සමාජධර්ම ආදි කරුණු උගන්වන ශාස්ත්‍රය; පාලනය පිළිබඳ බලපැවැත්වෙන ව්‍යවස්ථා රෙගුලාසි නියෝගය ආදිය පිළිබඳ ශාස්ත්‍රය; නීති විද්‍යාව.

නීති සංග්‍රහය

නා. විවිධ නීති අණපනත් ආදිය එක්රැස් කොට සකස් කරන ලද කෘතිය; නීති ව්‍යවස්ථාපන සංගෘහිත ග්‍රන්ථය.