අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 116

චක්‍රායුධය

නා. ගිනිගෙන දිලිසෙන ආයුධ විශේෂයක්; පාරාවළල්ල (සං. චක්‍රායුධ)

චණ්ඩ

වි. නපුරු; රෞද්‍ර; සැඬ (පා. සං. චණ්ඩ)

චණ්ඩාතපය

නා. සැඩ හිරු රැස්/ සූර්යයා (සං. චණ්ඩාතප)

චණ්ඩාල

නා.ප්‍ර. කුල ගෝත්‍රයක නාමය; සැඬොල් කුලය; රොඩී කුලය (පා. සං. චණ්ඩාල)

චත්තාළීස

වි. සතළිස් (පා. චත්තාළීස)

චතුපාරිශුද්ධිශීලය

නා. චතුර්විධ ශීලය (පා. චතුපාරිසුද්ධිසීල සං. චතුපාරිශුද්ධශීල)

චතුමධුර

නා.ප්‍ර. ගිතෙල්, වෙඬරු, මී පැණි, උක්හකුරු යන මිහිරි වර්ග හතර; ඒවායින් පිළියෙල කළ රසය (පා. චතුමධුර)

චතුරංග

නා.ප්‍ර. අංග සතර (පා. සං. චතුරඞ්ග)

චතුරංගිනී

වි. අංග සතරකින් යුත් (පා. චතුරඞ්ගිනී සං. චතුරඞ්ගින්)

චතුරංගිනී සේනාව

නා. හස්ති, අශ්ව, රථ, පාබළ යන අංග සතරින් යුත් හමුදාව

චතුරශ්‍රය

නා. පාද සතරකින් ද අභ්‍යන්තර කෝණ සතරකින් ද යුත් සංවෘත තල රූපය (සං. චතුරශ්‍ර පා. චතුරස්‍ර)

චතුර්ථ

වි. සතර වන; සිවු වැනි (සං. චතුර්ථ)

චතුර්ථධ්‍යානය

නා. රූපාවචර ධ්‍යාන භාවනා අතර සතරවැන්න (පා. චතුත්‍ථ+ඣාන)

චතුර්වර්ණ

නා.ප්‍ර. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යන සතර කුලය (සං. චතුර්වර්ණ)

චතුර්විධ

වි. සතරාකාර; සිවු වැදෑරුම් (සං. චතුර්විධ)

චතුර්වේදය

නා. ඍග්, යජුර්, සාම, අථර්වන් යන වේද හතර (සං. චතුර්වෙද)

චතුර්වෛශාරද්‍ය ඥානය

නා. බුදුරදුන් සතු වූ සතරාකාර විශාරද භාවය පිළිබඳ නුවණ (සං. චතුර්+වෛශාරද්‍ය+ඥානය)

චතුරාර්ය සත්‍යය

නා. උතුම් සත්‍ය හතර; දුක්ඛ සත්‍යය, සමුදය, නිරෝධ, මාර්ග යන සත්‍ය හතර

චතුරාශ්‍රම

නා.ප්‍ර. බ්‍රාහ්මණයකුගේ දිවියේ බ්‍රහ්මචාරී, ගෘහස්ථ, වානප්‍රස්ථ, සන්‍යාසි යන අවස්ථා හතර (සං. චතුර්+ආශ්‍රම)

චතුෂ්කය

නා. හතරක් ඇති කණ්ඩායම; හතරේ ගොඩ (සං. චතුෂ්ක)

චතුෂ්කෝටික

වි. කෙළවර සතරක් ඇති (බෞ.සං. චතුෂ්කොටික)

චතුෂ්පථය

නා. මං හතරක් එක් වන තැන; සිවුමංසල

චතුෂ්පද

නා.ප්‍ර. පාද සතරක් ඇති පද්‍යය; සිවුපදය/ සිවුපාවා (සං. චතුෂ්පද)

චතුෂ්ෂෂ්ටි

වි. හැට හතරක් වූ; සිවු සැට (සං. චතුඃෂෂ්ටි)