අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 117

චතුෂ්ෂෂ්ටි කලා

නා.බහු. පෙරදිග සාම්ප්‍රදායික කලා ශිල්ප ශාස්ත්‍ර හැටහතර (සං. චතුඃෂෂ්ටි+කලා)

චතුස්තලය

නා. ත්‍රිකෝණාකාර මුහුණත් හතරකින් යුත් බහුතලය/ ත්‍රිකෝණාකාර මුහුණත් හතරකින් යුත් ඝන වස්තුව

චන්දකින්නර

නා. ජාතක කථාවක එන කිඳුරකුගේ නාමයක්; සඳකිඳුරා (පා. චන්‍දකින්නර)

චන්ද්‍ර මණ්ඩලය

නා. සඳ මඬල; මණ්ඩලාකාර වූ චන්ද්‍රයා (සං. චන්‍ද්‍රමණ්ඩල)

චන්ද්‍ර රේඛාව

නා. අමාවකට පෙර හෝ පසු හෝ රේඛා සටහනක් සේ පෙනෙන සඳ (සං. චන්‍ද්‍රරෙඛා)

චන්ද්‍රකාන්ත පාෂාණය

නා. සඳරැස් වැටුණු විට දිය වැගිරෙන සේ පෙනෙතැයි සැලකෙන ගල් විශේෂයක්

චන්ද්‍රග්‍රහණය

නා. සඳ රාහු ඇල්ලීම; පොළොවේ හෙවණැල්ල හඳ මත වැටෙන සේ සූර්යයාත් පොළොවත්, හඳත් එක එල්ලේ පිහිටීම (සං. චන්‍ද්‍රග්‍රහණ)

චන්ද්‍රබිම්බය

නා. වටකුරු සඳ; චන්ද්‍ර මණ්ඩලය (සං. චන්‍ද්‍රබිම්බ)

චන්ද්‍රවංකය

නා. අර්ධ කවාකාර මාර්ගය

චන්ද්‍රිකා ශාලාව

නා. සඳලුතලය

චන්ද්‍රෝදය

නා.ප්‍ර. සඳ උදාව (සං. චන්‍ද්‍රොදය)

චපල

වි. වෙනස්වනසුලු (පා. සං. චපල)

චරණ

නා.ප්‍ර. පාදය; පය/ හැසිරීම; ගමන් කිරීම/ මනා පැවැත්ම; ආචාරවත් හැසිරීම (පා. සං. චරණ)

චරණ නඛ මයූඛය

නා. පාදයන්හි නියපොතුවලින් නික්මෙන රශ්මිය (පා. සං. චරණ+නඛ+මයූඛ)

චරපුරුෂයා

නා. ඔත්තු සපයන්නා (සං. චරපුරුෂ)

චර්මච්ඡේදනය

නා. යුදෙව් හා ඉස්ලාම් භක්තිකයන් විසින් කරනු ලබන ආගමික චාරිත්‍රයක් වන සුන්නත් කිරීම (සං. චර්මච්ඡෙදන)

චර්යාව

නා. පුද්ගල ස්වභාවය; හැසිරීම/ සංචාරය (සං. චර්යා)

චරිත ඝාතනය

නා. චරිතය කෙලෙසීම; චරිතයට හානි පැමිණවීම

චරිත නිරූපණය

නා. නාට්‍ය, කතා පුවත් ආදියෙහි එන චරිත රඟපෑමෙන් විදහා පෙන්වීම

චරිත ශෝධනාගාරය

නා. බාලාපරාධකරුවන් යහමඟට යොමු කරවන ආයතන විශේෂයක්

චරිතාපදානය

නා. චරිත කථාව; කෙනකුගේ ජීවිත ප්‍රවෘත්තිය

චලන චිත්‍රය

නා. චලනය සිදු වන්නා සේ අඟවන චිත්‍රපටය

චලනය

නා. සෙලවීම; කම්පනය (පා. සං. චලන)

චල්‍යතාව

නා. සසල බව; ගමන් කරවිය හැකි වීම