අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 129

තණ්හාව

නා. තෘෂ්ණාව (පා. තණ්හා)

තත

1. නා. නූල; හුය (පා. සං. තන්තු) 2. වීණා ආදියෙහි තන්ත්‍රිය (සං. තන්ත්‍රී)

තතනනවා

ක්‍රි. තැත් කරනවා/ තැති ගන්නවා/ වේදනාවෙන් කෙඳිරිගානවා

තත්කාලීන

වි. ඒ කාලය පිළිබඳ; නිර්දිෂ්ට කාලයට අයත් (සං. තත්කාලීන)

තත්ත්වඥ

වි. යථා ස්වභාවය වටහා ගත් (සං. තත්ත්‍වඥ)

තත්ත්වය

නා. නියම ස්වභාවය/ තරාතිරම (සං. තත්ත්‍ව)

තත්ත්වාන්වේෂණය

නා. සත්‍ය ගවේෂණය

තත්ත්වාරෝපණය

නා. තත්ත්වයක් පැවරීම හෝ තත්ත්වයකට නැංවීම

තත්ත්වාවබෝධය

නා. ඇති සැටි තේරුම් ගැනීම

තත්පරායණ

වි. එහි ඇලුණු; එයට ඇපකැප වූ (සං. තත්පරායණ)

තත්සම

වි. ඒ හා සමාන; අන්‍ය භාෂාගත වචනයක ප්‍රකෘතිය හා සමාන වූ (සං. තත්සම)

තථ්‍ය

වි. ඇති සැටි; අව්‍යාජ (සං. තථ්‍ය)

තථාකාරී

වි. කියූ සැටියෙන් ම කරන (පා. තථාකාරී)

තථාගත

නා.ප්‍ර. බුදුන් වහන්සේ හැඳින්වීමට භාවිත නාමයක් (පා. සං. තථාගත)

තදංග

නා.ප්‍ර. කෙලෙසුන් තාවකාලික ව දුරුකර ගැනීම පිණිස උපයෝගී කර ගන්නා උපාය (පා. තදඞ්ග)

තදංග ප්‍රහාණය

නා. අලෝභ ආදි කුසලාංගයකින් ලෝභ ආදි අකුසලාංගයන් දුරු කිරීම (පා. තදඞ්ගප්පහාණ)

තදනන්තර

වි. ඊට පසුව වූ; ඉන් අනතුරුව වූ; ඊළඟ (සං. තදනන්තර)

තදන්‍ය

වි. එයින් පිටස්තර; ඉන් බාහිර වූ (සං. තදන්‍ය)

තද්ධිත

නා.ප්‍ර. නාමයක් සාදා ගැනීමට වෙනත් නාමයකින් පර ව යොදන නාමාර්ථයට හිතකර ප්‍රත්‍යය (සං. තද්ධිත)

තද්භව

වි. අන්‍ය භාෂාවකින් සිංහලට බිඳී ආවා වූ; එයින් බිඳුණු (සං. තද්භව)

තදාශ්‍රිත

වි. ඒ ඇසුරෙහි වූ; එය අවට ඇති; ඒ ඇසුරු කොට ගත්

තදාසන්න

වි. එය සමීපයෙහි පිහිටි; එයට නුදුරු

තන

1. නා.ප්‍ර. පියයුරු; පයෝධර (පා. ථන සං. ස්තන) 2. දරුවා (සං. තන)

තන කැකුළු

නා.ප්‍ර. ළපටි අවස්ථාවේ පවත්නා පියයුරු