අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 209

පාංශුඛාදනය

නා. වැස්ස හා සුළඟ හේතුවෙන් පස මතුපිට ගෙවී යෑම; පස සෝදා යෑම

පාක්ෂිකයා

නා. පක්ෂයකට අයත් තැනැත්තා (සං. පාක්‍ෂික)

පාච්චලය

නා. පහත් කොට සැලකීම; නිගරුව (දෙ. பாய்ச்சல்)

පාටනය

නා. පැළීම; විදාරණය (පා. සං. පාටන)

පාටවය

නා. සාමාර්ථ්‍යය/ හික්මීම (පා. සං. පාටව)

පාටිහාරිකයා

නා. දොරටුපාලයා; මුරකරුවා (සං. ප්‍රතිහාර, ප්‍රතීහාර)

පාඨකයා

නා. කියන්නා; ප්‍රකාශ කරන්නා/ පොත්පත් කියවන්නා (පා. සං. පාඨක)

පාඨග්‍රන්ථය

නා. පාඩම් එක්තැන් කොට කළ පුස්තකය

පාඨමාලාව

නා. ක්‍රමවත් පාඩම් පෙළ/ විභාගයකට ඉදිරිපත්වන්නන් විසින් උගත යුතු නියමිත අධ්‍යයන ක්‍රමය (සං. පාඨ+මාලා)

පාඨය

නා. වාක්‍යය; වගන්තිය/ ත්‍රිපිටක පාළිය/ පාඩම (පා. සං. පාඨ)

පාඨශාලාව

නා. පාසල (සං. පාඨශාලා)

පාඨශෝධනය

නා. පිළිවෙල වී ඇති ලේඛනයක වැරදි වචන හා වාක්‍ය නිවැරදි කිරීම

පාඨාංකය

නා. මිනුම් උපකරණයකින් පෙන්වන සංඛ්‍යාව

පාඨාන්තරය

නා. ග්‍රන්ථයක කිසියම් පාඨයක් වෙනුවට නිවැරදියයි සිතා යොදන වෙනත් පාඨය (සං. පාඨාන්තර)

පාඨාර්ථය

නා. පාඨයෙහි තේරුම

පාණ

1. නා.ප්‍ර. පාෂාණය; පහණ (පා. පාසාණ සං. පාෂාණ) 2. පණ; ප්‍රාණය (පා. පාණ)

පාණ්ඩර

වි. සුදට හුරු; පඬු පැහැ ඇති

පාණ්ඩ්‍ය දේශය

නා. දකුණු ඉන්දියාවේ ප්‍රදේශයක්; පඬිරට (සං. පාණ්ඩ්‍යදෙශ)

පාණ්ඩිත්‍යය

නා. ඇසූ පිරූ තැන් ඇති බව; බහුශ්‍රැත භාවය (සං. පාණ්ඩිත්‍ය)

පාණ්ඩු

නා.ප්‍ර. සුදුමැලි පාට; පඬු පැහැය (සං. පාණ්ඩු)

පාණ්ඩුකම්බල ශෛලාසනය

නා. ශක්‍රයාගේ ආසනය

පාණ්ඩුව

නා. නීරක්තිය; ලේ හීනවීම නිසා සෑදෙන රෝගයක් (සං. පාණ්ඩු)

පාණාතිපාතය

නා. සතුන් මැරීම; ප්‍රාණඝාතය (පා. පාණාතිපාත)

පාණිග්‍රහණය

නා. සරණ බන්ධනය; විවාහය (සං. පාණිග්‍රහණ)