අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 235

බුධ

නා.ප්‍ර. නවග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝකයක්/ නුවණැත්තා; ප්‍රාඥයා (සං. බුධ)

බුබුල

නා. ලෝහ, වීදුරු ආදියෙන් කළ කුඩා වටකුරු දෙය/ සම, සිවි, පොතු ආදියෙහි මතුපිට හටගන්නා ගඩුව/ උල්පත/ ළපටි ගෙඩිය (පා. බුබ්බුල, බුබ්බුළ බෞ.සං. බුද්බුඩ සං. බුද්බුද)

බුමුතුරුණු

නා.ප්‍ර. බිම අතුරන පලස; ගෙබිම වසන ඇතිරිල්ල (සං. භූම්‍යස්තරණ)

බුරුල

නා. ලිහිල් ස්වභාවය

බුරුලු

නා.ප්‍ර. ක්ෂීරපායී දෙනුන්ගේ කිරි එරීම නිසා මහත් වන තන පුඩු පෙදෙස

බුලත් හුරුල්ල

නා. කෙනකුට පිළිගන්වන බුලත් අත

බුසල

නා. ධාන්‍ය ආදිය මැනීමේ දී භාවිත වන මිනුම් ඒකකයක් (ඉං. bushel)

බුහුනණි

නා.ප්‍ර. සහෝදරිය; සොහොයුරිය

බුහුමන

නා. ගෞරවය; බහුමානය

බුළු

නා.ප්‍ර. ඖෂධ සඳහා ගන්නා කුඩා ගෙඩි සහිත ගස් වර්ගයක්

බූ මටුල්ල

නා. පොල්, තැඹිලි ආදියෙහි කරඬුවල අතු දරා සිටීමට උපකාරී වන ලෙස පිහිටා ඇති දැලක් වැනි කොටස

බූදලය

නා. කෙනකු සතු දේපළ (ල. boedel)

බූමරංගය

නා. ඕස්ට්‍රේලියානු මුල් වැසියන් දඩයමට යොදාගත් ආයුධයක් (ඉං. boomerang)

බූලිය

නා. වීදුරු, මැටි, ප්ලාස්ටික් ආදියෙන් නිම වූ කට කුඩා, විශාල බෝතලය; බුජම; බරණිය (පුර්. bule)

බූවලු

නා.ප්‍ර. වියළි පොල් මල් නටු කිනිත්ත

බෘන්දය

නා. ගොඩ; රාශිය/ පිරිස; සමූහය/ රැස්වුණු වස්තුව; සම්පත (සං. බෘන්‍ද, වෘන්‍ද)

බෘහස්පති

නා.ප්‍ර. ගුරු ග්‍රහයා (සං. බෘහස්පති)

බෙනය

නා. සිදුර; බිලය

බෙරණ

නා.ප්‍ර. භරණි නැකත (සං. භරණී)

බෙලසුල්

වි. උකු වූ/ ලිස්සනසුලු

බෙලහීන

වි. ශක්තිය පිරිහුණු; දුබල

බේගලය

නා. බොරුව; මුසාව

බොජ්ඣංග

නා.ප්‍ර. බෝධි නම් වූ මාර්ග ඥානයන්ට කාරණ ව සිටි ධර්ම සමූහය (පා. බොජ්ඣඞ්ග)

බොඳ

නා.ප්‍ර. මදය; සාරය