අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 42

ඇට්ටැඹියා

නා. පහත් මෙහෙයක යෙදෙන්නා

ඇටිකුකුළා

නා. පක්ෂියකුගේ නාමය

ඇණ

නා.ප්‍ර. යම් යම් දේ පිරිද්දීමට භාවිත කරන ලෝහ හෝ ලී ආදියෙන් සෑදූ කුරු විශේෂයක් (පා. සං. ආණි + -ක)

ඇණවනවා

ක්‍රි. අණ කරනවා; නියම කරනවා (පා. ආණාපෙති)

ඇණවුම

නා. නියෝගය; විධානය/ කිසියම් ආයතනයකින් භාණ්ඩ ලබා ගැනීම සඳහා කරන ඉල්ලීම

ඇණිය

නා. යුද්ධ සේනාව; හමුදාව/ සමූහය/ ජල යාත්‍රාවක ඉදිරි කොටස

ඇත් මුළ

නා.ප්‍ර. ඇත් සමූහය; ඇත් රැළ

ඇතිනිය

නා. ඇතාගේ ගැහැනු සතා (පා. හත්‍ථීනි සං. හස්තිනී)

ඇතිරිලි

නා.ප්‍ර. ආස්තරණය (සං. ආස්තරණ පා. අත්‍ථරිකා)

ඇතිළිය

නා. නොගැඹුරු, කට පළල් බඳුන

ඇතුල්පත

නා. පන් ආදියෙන් වියන ලද වට්ටි විශේෂයක්

ඇතුළ

නා. අභ්‍යන්තරය (පා. සං. අන්තර)

ඇතුළත්

වි. අඩංගු; අන්තර්ගත

ඇතුළු

වි. මධ්‍යගත/ අඩංගු (පා. සං. අන්තර)

ඇදහැලෙනවා

ක්‍රි. පහළට වැටෙනවා

ඇදහිලි

නා.ප්‍ර. විශ්වාස

ඇන කොටා ගන්නවා

ක්‍රි. ගහ බැණ ගන්නවා; කලහ කර ගන්නවා

ඇන ගන්නවා

ක්‍රි. පහර දෙනවා; එකිනෙකා හිසින්, අඟින්, දළින්, උල් ආයුධ ආදියෙන් පහර දී ගන්නවා

ඇන හිටිනවා

ක්‍රි. ක්‍රියා විරහිත වෙනවා; නතර වෙනවා

ඇන්නෑව

නා. කරදරය/ නිශ්ඵල දෙය/ දෝෂය (සං. අන්‍යාය)

ඇනුම් පදය

නා. කෙනකුට ව්‍යංගයෙන් කියන කටුක වචනය; සිත රිදෙන ව්‍යංගාර්ථවත් ප්‍රකාශය

ඇනුම් බැණුම්

නා.ප්‍ර. ඇනුම් පද කීම හා පරිභව කිරීම

ඇඳ

නා. යහන; සයනය

ඇඳිරිය

නා. කළුවර/ ඇසේ පෙනීම අඩු කරන රෝගය (පා. සං. අන්‍ධකාර)