අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 47

ඉන්නා

නා. සමෙහි හටගන්නා කුඩා මස්රොද; චර්මකීලය

ඉන්නෑව

නා. නීත්‍යනුකූල නොවන දෙය (සං. අන්‍යාය)

ඉන්නිසය

නා. නාඩගම්වල ගායනා කරනු ලබන ගීත විශේෂයක් (දෙ. இன்னிசை)

ඉන්ෂුවරන්ස්

නා.ප්‍ර. ජීවිත හා දේපළ හානි හෝ අනතුරු හෝ වෙනුවෙන් වන්දි ලබා ගැනීමේ ක්‍රමය; රක්ෂණය (ඉං. insurance)

ඉන්සියුලින්

නා.ප්‍ර. අග්න්‍යාශයෙන් ස්‍රාවය කෙරෙන රසායනික හෝමෝනයක් (ඉං. insulin)

ඉන්ෆ්ලුවෙන්සා

නා.ප්‍ර. කැස්ස සහිත හෙම්බිරිස්සා උණ (ඉං. Influenza)

ඉනි

1. නා.ප්‍ර. වැටකට හෝ වෙනයම් අවශ්‍යතාවකට බිම සිටුවන කෝටුව 2. කරණාර්ථය හඟවන විභක්ති නාමයක් [නිද. නෙත් + ඉනි > නෙතිනි] 3. ස්ත්‍රී අර්ථවාචී ප්‍රත්‍යයක් [නිද. යක් + ඉනි > යකිනි]

ඉනිම

නා. ක්‍රිකට් ක්‍රීඩාවේ දී එක් පිලකට පන්දුවට පහරදීමට ලැබෙන වාරය (ඉං. Inning)

ඉඳලෝලු

නා.ප්‍ර. හතු විශේෂයක්

ඉඳි කෙළිය

නා. ගල් කැට උඩ විසි කරමින් කරනු ලබන ජන ක්‍රීඩාවක්

ඉඳුදැල්

වි. ඉන්ද්‍රජාලික (පා. ඉන්‍දජාල සං. ඉන්‍ද්‍රජාල)

ඉඳුනිල් මැණික

නා. නිල් මැණික (සං. ඉන්‍ද්‍රනීල+මාණික්‍ය)

ඉඳුරා

වි. කෙළින්; ඍජු (සං. ඍජු)

ඉඳුරුසැව්

නා.ප්‍ර. ඉන්ද්‍රචාපය; දේදුන්න (සං. ඉන්‍ද්‍රචාප)

ඉඳුල්

නා.ප්‍ර. කා බී ඉතිරි කළ දේ/ ළදරුවකුට පළමුව දෙන ආහාරය

ඉඳුල් උළු

නා.ප්‍ර. බත් ඇට

ඉඳුල් කරනවා

ක්‍රි. මුල් වරට පරිභෝග කරනවා

ඉපනැල්ල

නා. කරල් කපා ගත් පසු කුඹුරේ ඉතිරි වන ගොයම් ගසෙහි මුල කොටස/ අලුත ගොයම් කැපූ කුඹුර

ඉපල

නා. කොළ හැලුණු අත්ත; වියළි අත්ත

ඉපිණි

වි. ඉතා පියකරු; ඉතා මිහිරි (පා. අතිපණීත)

ඉපිලෙනවා

ක්‍රි. ද්‍රවයකින් උඩට මතු වී පාවෙනවා/ උතුරා යනවා/ කැලඹෙනවා (පා. උප්පිලවති, උප්ලවති සං. උත්පලවතෙ)

ඉරණම

නා. සිදුවිය යුතු දෙය; දෛවය (දෙ. இரணம்)

ඉරනවා

ක්‍රි. පිහියෙන් හෝ කියතෙන් දිග අතට පළනවා/ කඩදාසි රෙදි ආසිය දෙපසට ඇද කඩා තීරුවලට වෙන් කරනවා

ඉරමුදුන

නා. මධ්‍යාහ්නය; දවාල