අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 48

ඉරානය

නා. මැදපෙරදිග ඇති රටක නාමය (ඉං. Iran)

ඉරිඟු

නා.ප්‍ර. ධාන්‍ය වර්ගයක නාමය

ඉරිතළනවා

ක්‍රි. යමක් සිහින් ඉරි ගැසී පිපිරී යනවා

ඉරියව්ව

නා. ඉරියාපථය

ඉරියාපථය

නා. ඉරියව්ව; ශරීරය පවත්වන ආකාරය (පා. ඉරියාපථ)

ඉල ඇට

නා.ප්‍ර. උරස වට කරමින් කශේරුව දෙපැත්තෙන් ඉදිරියට යුගල වශයෙන් විහිදී ඇති අස්ථි

ඉලංගම

නා. සිංහල රජ සමයේ අංගම් පොර, කඩු හරඹ හා ආයුධ ශිල්ප පුහුණු කළ ස්ථානය; මහනුවර හා කෝට්ටේ යුගවල නැටුම් ගැයුම් හා කවි තරග පැවැත්වූ ස්ථානය (දෙ. இலங்கம்)

ඉලක්කම

නා. සංඛ්‍යාවක් හැඳින්වීමට යොදන සංකේතය; අංකය (දෙ. இலக்கம்)

ඉලක්කය

නා. විදින්නට, ගසන්නට හෝ වෙඩි තබන්නට හෝ ගන්නා එල්ලය; කුරුමානම/ අරමුණ; පරමාර්ථය (දෙ. இலக்கு)

ඉලගොට්ට

නා. මසුන් ඇල්ලීමට භාවිත කරන බට පතුරු ආදියෙන් කළ කේතුවක හැඩය ගත් උපකරණය/ රා වෑස්සීම පිණිස කපන මල යටින් එල්ලන කොළපත් ගොටුව

ඉලත්තට්ටුව

නා. හෙප්පුව; බුලත් තට්ටුව (දෙ. இலைத்தட்டு)

ඉලත්ති

නා.ප්‍ර. ඇත්, අස් ආදීන්ගේ වසුරු (දෙ. இலத்தி)

ඉලපත

නා. පුවක්, පොල් ආදි ඉරටු මිටියක් කොට බැඳ අතුගෑමට සාදා ගත් උපකරණය

ඉලව්ව

නා. ඉළව්ව

ඉල්ලනවා

ක්‍රි. ආයාචනය කරනවා; අයදිනවා

ඉල්ලම

නා. ලෝහ හෝ මැණික් හෝ වෙනත් ඛනිජ ද්‍රව්‍ය ඇති පස් තට්ටුව/ බෙර තට්ටු තද කිරීමට නූල් යොදන සිදුර (දෙ. இல்லம்)

ඉල්ලුම

නා. අයැදීම; ආයාචනය/ භාණ්ඩයක් මිලට ගැනීමේ අවශ්‍යතාව

ඉලිප්සාකාර

වි. ඉලිප්සයක හැඩය ඇති (ඉං. ellipse)

ඉලෙක්ට්‍රෝනය

නා. පරමාණුවක් සෑදී ඇති මූලික කොටස් තුනෙන් එකක් (ඉං. electron)

ඉෂ්ට

වි. කැමති; අභිමත/ යහපත්; ශුභ (සං. ඉෂ්ට)

ඉෂ්ටාක්ෂර

නා.බහු. ශුභ ඵල ලබා දෙන අකුරු; දිව්‍යාක්ෂර හා මනුෂ්‍යාක්ෂර ලෙස හඳුන්වන අකුරු

ඉෂ්ටානිෂ්ට

වි. යහපත් අයහපත්; ශුභාශුභ

ඉෂ්ටාර්ථය

නා. අභිමත කාරණය; අභිප්‍රාය (සං. ඉෂ්ටාර්ථ)

ඉෂ්ටාලම්බනය

නා. ප්‍රියජනක අරමුණ