අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 53

උඩඟු

වි. ආඩම්බර; අහංකාර/ උඩට හැරුණු/ උද්දාමයට පත්

උඩහල්ල

නා. වළන් වැනි දේ තැබීම සඳහා ලුණු ආදියෙන් වියන ලද කුස්සියේ එල්ලා තබන පැස

උඩළිපත

නා. උළුවස්සක උඩ පඩිය හෝ ඉහළින් ම යොදා ඇති හරස් ලීය

උඩුදුඹුල් වෙනවා

ක්‍රි. කලබල වෙනවා

උඩුපිල

නා. අංකෙළිය, පොරපොල් ගැසීම ආදිය සඳහා සහභාගි වන එක් කණ්ඩායමක් හඳුන්වන නාමය

උඩුබැලි

වි. මුහුණ උඩු අතට සිටින සේ දිගා වූ; උඩුකුරු

උණ

1. නා.ප්‍ර. ශරීර උෂ්ණත්වය වැඩිවීමෙන් ඇති වන රෝගය; ජ්වරය (පා. ප්‍රා. උණ්හ) 2. තෘණ කුලයට අයත් ශාක විශේෂයක් (පා. සං. වෙණු)

උණ කිළිල

නා. ළපටි උණ ගොබය; උණ මොටෙයියා

උණ කුලාව

නා. එක් පැත්තක ගැටය සහිත ව කපාගත් උණ පුරුක

උණකටුව

නා. ශරීරයේ උෂ්ණත්වය මනින උපකරණය; උෂ්ණත්වමානය

උණසන්නිපාතය

නා. බඩවැල්වල ආබාධ නිසා ඇති වන ජ්වර රෝගය

උණහපුළුවා

නා. වානර පවුලට අයත්, වල්ගයක් නොමැති සතකුගේ නාමය

උණ්ඩය

නා. වෙඩි තැබීමට යොදන ලෝහ ගුළිය; වෙඩි උණ්ඩය (දෙ. உண்டை)

උණ්ඩිය

නා. ගෝලාකාර කුට්ටිය; ගුළිය (දෙ. உண்டை)

උණ්ඩුකපුච්ඡය

නා. ඇතැම් ක්ෂීරපායීන්ගේ අන්ධාශයෙහි කෙළවර ඇති නළයක් වැනි වූ කොටස

උණ්හීසකය

නා. නළලේ බඳින ආභරණ විශේෂයක්/ බුදු රදුන්ගේ ශ්‍රී පතුලේ වූ එකසිය අටක් මඟුල් ලකුණු අතරින් එකක්

උණ්හෝදකය

නා. උණු වතුර (පා. උණ්හොදක)

උණු

වි. උණුසුම්; රත් වූ (සං. උෂ්ණක)

උණුපැන්

නා.ප්‍ර. උණුසුම ඇති ජලය; රත් කළ වතුර

උණුසුම

නා. උෂ්ණය; උණුසුම් ගුණය/පහස

උත්කණ්ඨ

වි. දැඩි බලාපොරොත්තු ඇති; උත්සුක/ උකටලී; කලකිරුණු (සං. උත්කණ්ඨ)

උත්කර්ෂ

නා.ප්‍ර. උසස් බව; ශ්‍රේෂ්ඨභාවය/ අධික බව; විපුලත්වය (සං. උත්කර්ෂ)

උත්කර්ෂණය

නා. පිරිසිදු බවට පත්කිරීම/ ඉහළට එසවීම (සං. උත්කර්ෂණ)