අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 9

අත්දණ්ඩ

නා. අතෙහි මැණික්කටුවත් වැළමිටත් අතර කොටස හෝ වැළමිටත් උරහිසත් අතර කොටස/තරාදියෙහි දණ්ඩ

අත්පඬුර

නා. අත්තිකාරම/යමකු දැකීමට යන විට ගෙන යන තෑග්ග

අත්පොළසන්

නා.ප්‍ර. අත්පිඩි ගසන හඬ

අත්බන්ධන

නා.ප්‍ර. සරණ බන්ධනය (සං. හස්තබන්‍ධන)

අත්වැල

නා. කිහිප දෙනකු අතිනත් අල්ලා ගැනීමෙන් සෑදෙන වැල/ආධාරකයක් වශයෙන් ඇති වැල හෝ දණ්ඩ/උපකාරය

අත්සන

නා. කෙනකු තම නම වෙනුවට යොදන ලකුණ

අත්සුනු

නා.ප්‍ර. බදින ලද ධාන්‍ය කුඩු; එයින් සකස් කරගත් ආහාරය (සං. සක්තු + චූර්ණ පා. සත්තුචුණ්ණ)

අත්හළ

ක්‍රි.වි. බැහැර කළ; ඉවත ලූ

අත්‍ථාරය

නා. කඨින චීවරය ඇතිරීම (පා. අත්‍ථාර)

අත්‍යන්ත

වි. කෙළවරක් නැති; අප්‍රමාණ/සම්පූර්ණ (සං. අත්‍යන්ත පා. අච්චන්ත)

අත්‍යර්ථ

වි. ඉතා වැඩි; අතිශය (සං. අත්‍යර්ථ)

අත්‍යලංකාර

වි. ඉතා අලංකාර (පා. සං. අති + අලඞ්කාර)

අත්‍යවශ්‍ය

වි. අතිශයින් අවශ්‍ය (සං. අති + අවශ්‍ය)

අත්‍යුත්කර්ෂය

නා. ඉතා අධික බව (සං. අති + උත්කර්ෂ)

අත්‍යුත්කෘෂ්ට

වි. ඉතා උසස්; ශ්‍රේෂ්ඨ (සං. අති + උත්කෘෂ්ට)

අත්‍යුත්තම

වි. ඉතා උතුම් (පා. සං. අති + උත්තම)

අත්‍යුදාර

වි. ඉතා උසස් (සං. අත්‍යුදාර)

අතැඹුල

නා. අත්ල මත වූ නෙල්ලි ගෙඩිය (සං. හස්තාමලක)

අතික්‍රමණය

නා. ඉක්මවීම; පසු කර යෑම (සං. අතික්‍රමණ)

අතික්‍රාන්ත

වි. ඉක්ම වූ; ඉකුත් වූ (සං. අතික්‍රාන්ත)

අතිකාලය

නා. නියමිත වේලාවට අමතර ව වැඩ කිරීම සඳහා ගත කරන කාලය

අතිරික්තය

නා. වැඩිමනත් කොටස (සං. අතිරික්ත)

අතිශය

නා.ප්‍ර. අධිකතාව/ශ්‍රේෂ්ඨතාව (සං. අතිශය)

අතිශයෝක්තිය

නා. අධික වර්ණනාව; පමණ ඉක්මවා කීම (සං. අතිශයොක්ති)