අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 8

අණ බෙරය

නා. නියෝගයක් හෝ නිවේදනයක් හෝ ප්‍රසිද්ධ කිරීමට හසුරුවන බෙරය (සං. ආඥා + භෙරි)

අණකරය

නා. මුදල් ගෙවන ලෙස බැංකුවකින් බැංකුවකට කරන නියෝගය; බැංකු අණකරය

අණගුණ

නා.බහු. අනුහස්; හාස්කම්/යහපත් ගතිගුණ

අණපණත්

නා.බහු. නියෝග හා පැනවීම් (සං. ආඥා + ප්‍රඥප්ති)

අණසක

නා. ආඥාචක්‍රය; රාජබලය (සං. ආඥාචක්‍ර)

අණ්ඩකෝශය

නා. වෘෂණය; වෘෂණකෝෂය (සං. අණ්ඩකොශ, අණ්ඩකොෂ)

අණ්ඩජ

වි. පක්ෂි උරග මත්ස්‍යාදි බිජුවෙන් උපන් සත්ත්ව ගණය පිළිබඳ වූ (පා. සං. අණ්ඩජ)

අණ්ඩය

1. නා. පක්ෂි උරග සතුන් දමන බිත්තරය (පා. සං. අණ්ඩ) 2. ඇඳුමක හෝ රෙද්දක හෝ අබලන් තැන් සඳහා යොදන රෙදි කැබැල්ල හෝ එසේ මැසූ තැන

අණ්ඩර දෙමළ

නා. ආන්ධ්‍ර දේශයේ භාෂාව; තෙලිඟු බස

අණාඥාව

නා. නියෝගය; විධානය

අණු

වි. ඉතා කුඩා; සියුම්.- නා.ප්‍ර. වස්තුවක ඉතා කුඩා කොටස; කුඩා අංශුව (පා. සං. අණු)

අණු ජීවියා

නා. අණුදක්නයෙන් දැකිය යුතු බැක්ටීරියා වැනි ක්ෂුද්‍රප්‍රාණියා

අණුක

වි. ඉතා කුඩා වූ; ක්ෂුද්‍ර (පා. සං. අණුක)

අණුදක්නය

නා. කුඩා දේ ලොකු කර පෙන්වන කණ්ණාඩිය; අන්වීක්ෂය

අණුමාත්‍රය

නා. ඉතා සුළු කොටස (සං. අණුමාත්‍ර)

අණුවාදය

නා. විශ්වය සෑදී තිබෙන්නේ පරමාණුවලින් යැයි සිතන දර්ශනය; පරමාණුවාදය

අඬදබර

නා.ප්‍ර. ශබ්ද නඟමින් කරන කෝලාහලය

අඬුව

නා. යමක් තදින් අල්ලා ගැනීමට පාවිච්චි කරන උපකරණය/ආත්‍රපෝඩාවන්ගේ පාදය/භාජන අල්ලා ගැනීම සඳහා සවි කර ඇති කොක්ක (පා. සණ්ඩාස)

අතකොළුව

නා. වඩුකර්මාන්තයේ දී භාවිත වන දැව උපකරණයක්; ලීයෙන් තැනූ මුගුර

අතළය

නා. කුඩා කළය; පැරණි කාලයේ භාවිත වූ භාජනයක නාමය (දෙ. அதளை)

අතළොස්ස

නා. බොකු ගැසූ අත්ල/ස්වල්ප ප්‍රමාණය; සීමිත ප්‍රමාණය

අත්තනෝමතික

වි. තමාගේ තනි මතයට අනුව ක්‍රියා කරන

අත්තාණි කණුව

නා. රාජ සභාවෙන් නිකුත් කළ නියෝගයක් ප්‍රකාශයට පමුණුවන ගල් ටැඹ

අත්තුක්කංසනය

නා. තමා උසස් කොට සිතීම හෝ කීම (පා. අත්තුක්කංසන)