සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1005

පරිබේලකය

(පාරිභා.) නා. කුඩා දරුවන් එකකු හෝ දෙදෙනකු තබා තල්ලු කරගෙන යනු ලබන රෝද තුනේ හෝ සතරේ අත් කරත්තය.

පරිභවය

1. නා. නින්දාව ; අපහාසය ; අවමානය ; ගර්හාව ; හෙළාදැකීම.
2. (ප්‍ර. යෙදේ) මාන්දම් රෝගය.

පරිභ්‍රමකයා

නා. වාසය වෙනස් කරමින් තැනින් තැනට ගමන් කරන්නා.

පරිභ්‍රමණය

නා. වටා යෑම ; කක්ෂයෙහි ගමන් කිරීම ; පෘථිවි ආදි ග්‍රහ වස්තු ස්වකීය අක්ෂය වටා කරකැවෙමින් වෙනස් වෙන. ආකාශ වස්තුවක් වටා ගමන් කිරීම.

පරිභ්‍රෂ්ට

වි. (ගුණධර්මයෙන්) පිරිහුණු ; ස්වකීයයන්ගෙන් ගිලිහුණු ; කෙලෙසුණු ; පහත් තත්ත්වයට පැමිණි.

පරිභාවිත

1. වි. පුරුදු කළ ; පුහුණු කරන ලද.
2. භාවිතයෙහි පැවති ; භාවිත කළ.

පරිභූත

වි. අවමානයට පාත්‍ර වූ ; පිළිකුල් කරන ලද ; අවඥා ලැබූ.

පරිභෘත

වි. මොනවට වැඩුණු ; මනා සේ වැඩුණු.

පරිභේද

වි. බිඳෙන ; වැනසෙන ; වෙනස් වෙන ; නැසෙන.

පරිභෝගය

නා. භාවිතය ; භුක්ති විඳීම ; අනුභවය ; පරිහරණය ; ප්‍රයෝජනයට ගැනීම.

පරිභෝගික

1. වි. භුක්ති විඳින ; පරිභෝග කරන.
2. භාවිත කළ ; පරිභෝගයට

පරිභෝජකයා

නා. යම් භාණ්ඩ නොහොත් සේවා පහසුකම් භාවිත කරන්නා ; පාවිච්චි කරන්නා ; ප්‍රයෝජනයට ගන්නා ; පාරිභෝගිකයා.

පරිභෝජනය

නා. ප්‍රයෝජනයට ගැනීම ; පාවිච්චිය ; භාවිතය ; භුක්ති විඳීම.

පරිමණ්ඩලය

1. නා. හාත්පසින් වට ව ඇති බව ;සම්පූර්ණ වෘත්තාකාර ස්වභාවය.
2. ආලෝකාදියෙන් නිර්මිත වෘත්තාකාර වස්තුව.

පරිමන්දනය

(පාරිභා.) නා. දෝලනයක හෝ තරංග චලිතයක හෝ විස්තාරය කාලයත් සමග අඩු වීම ; වේගය අඩු වීම.

පරිමාණ රූපය

(පාරිභා.) නා. කිසියම් රූපයක් එහි මුල් දිග පළල ආදියේ අනුපාතය නොවෙනස් ව සිටිනා සේ කුඩාවට හෝ ලොකුවට හෝ ඇඳගත් රූපය.

පරිමාණය

1. නා. ප්‍රමාණය ; සීමාව ; පමණ ; තරම.
2. (පාරිභා.) ක්‍රමාංකිත මිම්මක්.
3. වස්තුවකුත් එහි නිරූපිතයත් අතර අනුපාතය

පරිමාව

1. නා. ප්‍රමාණය ; තරම ; සීමාව ; මිම්ම.
2. ඝන ද්‍රව්‍යයන් එහි පැවැත්ම සඳහා ගන්නා ඉඩ-කඩ හෙවත් අවකාශය ; ඝනඵලය.
3. යම් භාජනයක ඇතුළත ඉඩකඩ ප්‍රමාණය.

පරිමිත

වි. ගණනින් හෝ තරමින් හෝ ප්‍රමාණ කළ ; සීමාවක් ඇති.

පරිමිත අන්තරය

(පාරිභා.) නා. අවසාන වශයෙන් ලැබෙන අන්තරය ; නිශ්චිත අන්තරය.

පරිමිත කේතුව

(පාරිභා.) නා. අවසාන මුදුන් ලක්ෂ්‍යය තෙක් විහිද ඇති කේතුව.

පරිමිත භාෂණය

නා. පමණට බිණීම ; බොරු කීම්, කේලාම් කීම්, පමණට වැඩිය කතා කිරීම් ආදියෙන් දුරු ව කතාබස් කිරීම.

පරිමිත භාෂා

නා.ප්‍ර. කිසියම් අවස්ථාවකට හෝ සමාජ ආවරණයකට හෝ සීමා වූ කමත් බස වැනි භාෂා ව්‍යවහාර.

පරිමිතිය

නා. වක්‍ර හෝ සරල හෝ රේඛාවන්ගෙන් ඇවුරුණු ජ්‍යාමිතීය රූපයක හෝ ක්ෂේත්‍රයක හෝ බාහිර සීමාව ; එහි වටේ මුළු දිග ; වට ප්‍රමාණය ; පරිධිය.