සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1004

පරිධිය

1. නා. (පාරිභා.) වෘත්තයක මධ්‍ය ලක්ෂ්‍යයේ සිට සම දුරින් පිහිටි ලක්ෂ්‍ය සමූහය.
2. රෝදයක පට්ටම.

පරිනග්නීකරණය

(පාරිභා.) නා. පරිසරයට විවෘත වීමෙන් හැකිළී පාළුවී හෝ පිරිහී යෑම.

පරින්‍යෂ්ටිය

(පාරිභා.) නා. ස්නායු සෛලයක න්‍යෂ්ටිය වටා ඇති ප්‍රාක්ප්ලාස්මය.

පරිනිර්වාණය

නා. බුදුරජුන්ගේ හෝ රහතුන්ගේ පිරිනිවන් පෑම ; සසර දුකින් නිදහස් වීම ; පිරිනිවන.

පරිපක්ව

1. වි. (නුවණින්) මුහුකුරා ගිය ; පැසුණු ; වැඩුණු.
2. (තාරුණ්‍යය) ගෙවී ගිය ; ජරාපත්.
3. දිරවු ; ජීර්ණ වූ.
4. ඉදුණු ; පරිපාකයට පත්.

පරිපචනය

නා. (ආහාර) දිරවීම ; ජීරණය.

පරිපථය

(පාරිභා.) නා. විද්‍යුත් ධාරාවක් ගමන් කරන මාර්ගය ; විදුලිය මඟ.

පරිපාචනය

නා. මේරිම ; පැසීම ; මුහුකුරා යෑම.

පරිපාටික නීතිය

නා. නෛතික වැඩකටයුතු පවත්වාගෙන යාම පිළිබඳ නීතිය.

පරිපාටිය

නා. පිළිවෙල ; අනුපිළිවෙල ; අනුක්‍රමය.

පරිපායුව

(පාරිභා.) නා. ගුදය ආශ්‍රිත පෙදෙස; ගුද කේන්ද්‍රිය වූ පරිසරය.

පරිපාලක

වි. පාලනය කරන ; ආරක්ෂක.
නා.ප්‍ර. පරිපාලනය කරන්නා නොහොත් කරවන්නා.

පරිපාලනය

නා. නීත්‍යනුකූල බලය දැරීම ; අධිකාරි බව ක්‍රියාත්මක කිරීම ; පාලනය කිරීම ; ආණ්ඩු කිරීම ; පවත්වාගෙන යෑම ; ආරක්‍ෂා කිරීම.

පරිපීත

වි. පානය කළ ; බීගත් ; උරාගත්.

පරිපුෂ්පය

(පාරිභා.) නා. මලක මණිය සහ මකුටය යන දෙක CHI එකට ගෙන හැඳින්වීමට යෙදෙන පොදු නාමය.

පරිපූරක

වි. අඩුව පුරවන ; සම්පූර්ණ කරන.

පරිපූරකය

නා. යමක් සම්පූර්ණ කිරීමට උදවුවන කොටස ; අඩුව පිරවීමට අවශ්‍ය අංගෝපාංගය.

පරිපූරණය

නා. මුළුමනින් පිරිම ; සම්පූර්ණ කිරීම.

පරිපූර්ණ

1. වි. සම්පූර්ණ වූ ; පිරිපුන් ; පරිපූරිත ; පිරුණු.
2. (පාරිභා.) අවයව සියල්ල ක්‍රියා කරන.

පරිපෘච්ඡා

නා.ප්‍ර. ප්‍රශ්න කිරීම ; පිළිවිසීම.

පරිපෝෂණය

නා. ඇති-දැඩි කිරීම ; හොඳින් හදා වඩා ගැනීම ; මැනවින් පෝෂණය කිරීම ; නඩත්තුව.

පරිබ්‍රාජකයා

නා. බුදුසස්නෙන් බැහැර පැවිදි භාවයට පත් තාපසයා ; පිරිවැජියා.

පරිබාව

1. නා. නගරයේ ආරක්ෂාව සඳහා පවුරට පිටතින් පිහිටි අගල.
2. සෑරී ගිය තැන ; විවරය ; පැල්ම.

පරිබාහිර

වි. මුළුමනින් බැහැර වූ ; ඈත් වූ ; පිටස්තර.