සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1078

පැන්තොට

නා. දිය නෑම බීම ආදිය සඳහා ගංගා ආදියෙහි වෙන් කොට ගෙන තිබෙන ස්ථානය.

පැන්පාසු

වි. පහසුවෙන් ජලය ලබාගත හැකි.

පැන්මෝරු

නා.ප්‍ර. දීකිරි හා ජලය මිශ්‍රකර සෑදූ පානය.

පැනැස

නා. ප්‍රඥාව නැමති ඇස.

පැපිරස්

නා.ප්‍ර.පුරාණ මිසර ජාතිකයන් විසින් සිෂෙරුස් පපිරුස් පැළෑටි කඳින් සකස් කරගත් කඩදාසි විශේෂය.

පැපොල

නා. ශරීරයේ බිබිලි මතු වීම සහ උණ ගැනීම ලක්ෂණ කොට ඇති බෝවන රෝගයක්.

පැපොල්

නා.ප්‍ර. ගන මදය සහිත ප්‍රණීත පලතුරු වර්ගය ; ගස් ලබු.

පැමිණිලිකරු

නා.ප්‍ර. පොලීසිය උසාවිය හෝ යම් වගකිව යුතු තැනකට පැමිණිල්ලක් ඉදිරිපත් කරන තැනැත්තා ; උසාවිය ඉදිරියේ නඩුවක් පවරන්නා ; චෝදකයා.

පැය

1. නා.ප්‍ර. පුරාණ මිණුම් අනුව දවසින් හැටෙන් පංගුවක් ද නූතන මිණුම අනුව විසි හතරින් පංගුවක් ද වන කාල මිම්ම ; හෝරාව.

පැරකුම්

නා.ප්‍ර. සතුරන් මැඩ පැවැත්වීමේ බලය ; වික්‍රමය ; මහත් බලය ; පරාක්‍රමය.

පැරගොනිමස් වෙස්ටර්මානී

(පාරිභා.) නා.ප්‍ර. මිනිසුන්ගේ ද, බැටළුවන් වැනි සතුන්ගේ ද ශ්වාසනාලය පෙනහැල්ල යන තැන්හි වැඩෙන කීට ගණයක්.

පැරචුටය

නා. ගමන් කරන අහස්යානාදියේ සිට නිරුපද්‍රිත ව බිමට ළඟා වීම සඳහා සේද වැනි ද්‍රව්‍යවලින් සාදා ගනු ලබන විශාල කුඩයක හැඩය ඇති උපකරණය ; වායු ඡත්‍රය.

පැරණි

වි. පෙර කලට අයත් ; පුරාණ ; පෞරාණික ; වර්තමාන නොවන.

පැරණියා

1. නා. පුරාණ කාලයට අයත් තැනැත්තා ; පැරැන්නා.
2. අතීත ආචාර්යවරයා ; පැරණි ඇදුරා.

පැරතයිරොයිඩ ග්‍රන්ථිය

(පාරිභා.) නා. බෙල්ලේ තයිරොයිඩ ග්‍රන්ථියට දෙපැත්තේ පිහිටි කුඩා අන්තරාසර්ග ග්‍රන්ථිය ; පැරතයිරොයිඩය.

පැරත්ත

නා.ප්‍ර. නැවත නැවත ඕනෑකමින් කරන ඉල්ලීම ; පුන පුනා කරන ආයාචනය ; බලවත් ඇවිටිල්ල.

පැරුම්

නා.ප්‍ර. පාරමිතා ධර්ම ; බුද්ධකාරක ධර්ම ; පෙරුම්දම්.

පැල

1. නා. සුණු පිරියම් ආදිය නොකළ ඉතා කුඩා ගෙය ; කොළ අතු පිදුරු ආදිය සෙවෙණි කළ කුඩා නිවස.
2. ගොවිතැන් ආදිය රැකීම සඳහා තනන තාවකාලික අතුගෙය.

පැල පදිංචිය

නා. ස්ථිර ලෙස නැවතී සිටීම ; ස්ථිර පදිංචිය ; වාසග්‍රහණය.

පැලඉන්න

පැළඉන්න බ.

පැලඟි

1. වි. ආකාරයෙන් ; අයුරින්.
2. සුදුසු වූ ; යෝග්‍ය.
3. සමාන.

පැලඹෙනවා

1. ක්‍රි. බබළනවා ; විරාජමාන වෙනවා.
2. පෙලඹෙනවා ; ආශා වෙනවා ; නැඹුරු වෙනවා.

පැලහී යනවා

ක්‍රි. පිළිස්සෙනවා ; දැවී යනවා ; දැවෙනවා.

පැල්ම

නා. විදාරණය වූ ස්ථානය ; විවරය.