සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1079

පැල්ලම

නා. කහට කුණු ආදිය ගෑවී දුර්වර්ණ වූ ස්ථානය ; ලපය ; කැලල ; කිලුට ; පුල්ලිය.

පැල්වාඩිය

1. නා. කුඩා පැල ; මඩුව.
2. තාවකාලික ව නවතින පැල.

පැල්සිඩියන් පංගුව

(පාරිභා.) නා. (නීති.) පැල්සිඩස් නැමැත්තා විසින් ඇති කරන ලද නීතිය අනුව හිමිකාර පංගුව.

පැලැල්ල

නා. උණ බට ආදියෙහි ලී පතුරු එක පෙළට තබා ලණුවලින් සම්බන්ධ කොට සාදනු ලබන ආවරණය.

පැලැස්ස

1. නා. කැලයෙන් වටවූ එළිමහන් බිම ; වනගහණය මැද පිහිටි පිට්ටනිය.
2. කුඩා වන ලැහැබ.
3. හිසකෙස්වලින් වට වී හිසේ පිහිටි කෙස් නැති කොටස.
4. සතකු වසන බෙනය.

පැලියෝසීන යුගය

(පාරිභා.) නා. උරග වර්ග ද උස් ශාක වර්ග ද, ලොවෙහි පළමුව හටගත් පුරාණ කාල පරිච්ඡේදය.

පැලෙයොලිතික සමය

(පාරිභා.) නා. පැරණි ගල් යුගය ; පුරාණ ශෛල සමය.

පැලෝපීය නාලය

(පාරිභා.) [නා.) (සත්ව.) ඩිම්බකෝෂයේ සිට ගර්භාෂය දක්වා ඩිම්බ ගමන් කරන නාල දෙකින් එකක්.

පැවත එනවා

ක්‍රි. යමක් දිගට ම පවතිනවා ; නො කඩවා පවතිනවා.

පැවරීම

පවරනවා යන්නෙහි භා.නා. 1. යම් කටයුත්තක් හෝ දෙයක් පුද්ගලයකුට භාර කිරීම.
2. පවරා දීම ; නීත්‍යනුකූල ව අයිතිය මාරු කිරීම.

පැවරීමේ නියෝගය

(පාරිභා.) නා. (නීති) නීත්‍යනුකූල ව අයිතිය මාරු කිරීමේ ආඥාව.

පැවරුම් නියෝගය

(පාරිභා.) නා. (නීති.) පවරා ගැනීමට කරන නියමය.

පැවැත්ම

1. නා. හැසිරීම ; කල්ක්‍රියාව.
2. පැතීම සිදුවීම ; ප්‍රවෘත්ත වීම.

පැෂන් ශ්‍රේණිය

(පාරිභා.) නා. (භෞති.) අධෝරක්ත ප්‍රදේශයේ තිබෙන හයිඩ්‍රජන් වර්ණාවලී ශ්‍රේණියක්.

පැස

1. නා. කූඩය ; පෙට්ටිය ; මල්ල ; කූඩුව.
2. (කැන්ගරු ආදීන්ගේ) පැටවුන්ගේ ආරක්ෂාව පිණිස උදර පෙදෙසෙහි ඇති කෝෂයක් වැනි ශරීර අවයවය.
3. පිටකය ; භාජනයක් වැනි දෙය.

පැසවනවා

1. ක්‍රි. (තුවාලයක්) ඉදිමී වේදනාවෙන් යුක්ත වනවා ; පැහැවනවා.
2. (සෙම) අපිරිසිදු වී දුර්වර්ණ වෙනවා.
3. (ආහාර) දිරවනවා.
4. (සුරා, ආසව) පල් වෙනවා ; පදම් වෙනවා.
5. රත් වෙනවා ; තැම්බෙනවා ; ගින්නෙන් පැහෙනවා.
6. මෝරනවා; ධාන්‍යාදිය මුහුකුරා යනවා.
7. යම් ගැටලුවක් සිතෙහි පුන - පුනා පැන නඟිනවා.

පැස් පෙට්ටිය

නා. වේවැල්, බටපොතු ආදී දෙයකින් වියා මැලියම් ගා රෙදි අලවා තනාගනු ලබන සැහැල්ලු පෙට්ටිය ; පැරැන්නන් විසින් ගමන් මලු වශයෙන් ද මෙම පෙට්ටි භාවිතයට ගන්නා ලදී.

පැස්ටරී කරනවා

(පාරිභා.) ක්‍රි. කකාරන ලද ද්‍රව්‍යයක් ක්ෂණික ව සිහිල් කිරීමෙන් බැක්ටීරියා විනාශ කරනවා.

පැසිනී දේහාණු

(පාරිභා.) නා.ප්‍ර. (සත්ව.) පෘෂ්ඨවංශීන්ගේ ද ස්නායුවල කෙළවරවල් මුගුරක් මෙන් මහත් වී සම්බන්ධක පටක තට්ටු කීපයකින් වට වී සෑදුණු දේහ.

පැසුළු

නි. පසු ව ; පසු කාලයෙහි ; පස්සේ ; ඉක්බිති ; පශ්චාත්.
වි. පශ්චිම ; අවරදිග ; පෑළ දිග ; බස්නාහිර.

පැසුළු දොර

නා. පස්සා දොර ; පසු දොර ; පෑළ දොර.

පැසෙන අංශකය

(පාරිභා.) නා. ජලය පැහීමට පත් වන අංශක මිම්ම ; වතුර නටන්නා වූ උණුසුම් ප්‍රමාණය ; තාපාංකය.

පැසෙනවා

1. ක්‍රි. මෝරනවා ; මුහුකුරා යනවා ; පරිණත වෙනවා.
2. දුක් විඳිමින් තැවෙනවා ; දුක්ඛ විපාකයට භාජනය වී සිටිනවා.
3. ගින්නෙන් රත් වෙනවා ; කැකෑරෙනවා ; උණු වෙනවා.
4. පාන්පිටි තෙලිජ්ජ වැනි දේ මුහුන් යෙදීමෙන් පරිපාකයට පත් වෙනවා.
5. සිරුරේ කෙස් ආදි රෝම සුදුපාට වෙනවා.

පැහ

1. නා.ප්‍ර. තෙල් හිඳීමට භාවිත කරන උපකරණයක් ; වැල්වලින් වියා දෙපසට ලෑලි දෙකක් සවි කරන ලද තෙල් යත.
2. පාට ; වර්ණ.
3. දිස්නය ; කාන්තිය ; රශ්මිය.