සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1080

පැහැදිලි

1. වි. පැහැයෙන් බබළන ; මනහර වර්ණයෙන් යුතු ; ප්‍රභෝජ්වලිත.
2. මැනවින් දැකිය හැකි ; අවුලක් නැති ; නිරවුල් ; අමාරුවක් නැති ව තේරුම් ගත හැකි.
3. රොන් බොර ආදිය නැති ; පිරිසිදු ; විනිවිද පෙනෙන.

පැහැදිලි කරනවා

ක්‍රි. විස්තර කරනවා ; (නොතේරෙන දෙයක්) තේරුම් කරදෙනවා ; වටහා දෙනවා ; ගැටලු ලිහාදෙනවා.

පැහැදුල

වි. පැහැයෙන් බබළන ; ප්‍රභාවෙන් දිලිසෙන ; කාන්තියෙන් දිදුලන.

පැහැදෙනවා

ක්‍රි. ප්‍රසාදයට පත් වෙනවා ; සතුටට පත්වෙනවා ; සිත ඇලෙනවා.

පැහැර අරිනවා

ක්‍රි. යමක් නො කොට අත්හැර දමනවා ; අතපසු කරනවා ; මඟ හරිනවා.

පැහැර ගන්නවා

1. ක්‍රි. උදුරා ගන්නවා ; බලහත්කාරයෙන් ගන්නවා ; කොල්ලකනවා.
2. පහර දෙනවා ; හප්පනවා.

පැහැරම

1. නා. පහර දීම ; 1 පැහැරුම ; ප්‍රහාරය.
2. (පියාපත්) ගැසීම ; විහිදීම ; ප්‍රසාරණය.
3. උදුරාගැන්ම ; කොල්ලකෑම.

පැහැසර

වි. මනා පැහැයෙන් යුතු ; ප්‍රභාවෙන් සාර ; බබලන.

පැහැසරණිය

නා. කාන්ති සමූහය ; රශ්මි රාශිය.

පැළ

1. නා.ප්‍ර. පීඩා ; පෙළීම් ; හිරිහැර.
2. ළපටි ගස්.
3. ශාකයක ළදරු අවස්ථාව.
4. ගොටුව ; පුටය ; (බත්) මුල.
5. බටහිර දිසාව ; පශ්චිම දිශාව.

පැළ ඉන්න

නා. පැළවීම සඳහා වැටක සිටුවන අමු කෝටුව.

පැළ ගොයම

නා. ළා ගොයම ; නොවැඩුණු ළපටි ගොයම.

පැළ දිග

නා. බටහිර දිසාව ; පශ්චිම දිසාව.

පැළදොර

1. නා.ප්‍ර. ගෙයි පිටිපස දොර.
2. බටහිරින් පිහිටි දොර.

පැළපත

1. නා. බීජයෙන් මතු වී_සතියක් දෙකක් පමණ වැඩුණු අංකුර අවස්ථාව.
2. පැළ ගොයම.
3. ළා අංකුර සමූහය.

පැළඹුම

නා. යොමු වීම ; ඉදිරිපත් වීම ; නැඹුරු වීම.

පැළසයුර

නා. බස්නාහිර දිසාවෙහි වූ මුහුද.

පැළැන්තිය

1. නා. පරපුර ; පෙළපත.
2. එක්තරා කොට්ඨාසයකට අයිති පිරිස ; වර්ගය ; ගෝත්‍රය.

පැළි කප්පිය

(පාරිභා.) නා. බෙදුණු පුලිය ; වෙන් වුණු බොලොක්කය.

පැළියාව

1. නා. බඩට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර – ගැනීම ; අධික කෑදරකම ; බලවත් ආහාර ගිජු බව.
2. අවශ්‍ය ප්‍රමාණයට වඩා ධන ධාන්‍ය තිබීම ; සීමාන්තික ධනවත් බව.
3. පැළීම ;

පැළිවළං

නා.ප්‍ර. තද හිරු රැසින් වියළුණු මඩ තට්ටුවක ඇති වන ඉරිතැළීම.

පෑ

1. නා.ප්‍ර. කාල මානක ඒකකයක් වන පැය.
2. පෑ තැටිය.
3. පැහැය ; පාට ; වර්ණය.
4. දීප්තිය ; ප්‍රභාව ; ආලෝකය.
1. වි. ප්‍රිය ; පිය.
2. දැක්වූ ; ගෙනහැර දක්වන ලද.

පෑගීම

1. නා. පය ගෑම ; පයින් මැඩීම.
2. ආක්‍රමණය ; පීඩාවට පත් වීම.

පෑතැටිය

1. නා. සිංහල පැයක කාලය කෙළවර දී දිය බඳුනක ගිලෙන කුඩා පාත්‍රයක් වැනි කාල මානක උපකරණයක්.
2. (කථා.) පෑදී දිලිසෙන කෙස් නැති හිස් මුදුන ; තට්ටය.