සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1101

පුඩු දැමීම

(පාරිභා.) නා. වළලු සිටින සේ ගොතන ලද මෝස්තර මැස්ම.

පුඩුව

1. නා. තොණ්ඩුව ; වළල්ල.
2. තුඩ ; කොන.
3. කුඩ, සේසත් ආදියෙහි මිට.
4. ගුළිය ; කැටිය ; පිණ්ඩය.
5. ගණන ; ප්‍රමාණය.
6. නාසයේ සිදුර.

පුණක්කු

නා.ප්‍ර. තල, කපු ඇට, කොප්පරා ආදිය මිරිකා තෙල් ගස් පසු ඉතිරි වන හපය ; රොඩු කොටස ; මුරුවට.

පුණ්ඩරිකය

1. නා. සුදු නෙළුම් මල.
2. හස්ති කුලයක්.
3. සුදු කූඩය.
4. දශවිධ නරකයන්ගෙන් එකක්.

පුණ්‍යක්ෂේත්‍රය

1. නා. පින් බිජුවට වැපිරීමට සුදුසු කෙත ; පින්කෙත ; සංඝ රත්නය.
2. බුදු, බුද්ධශ්‍රාවක, මව්, පිය යන සිවු පිරිස.

පුණ්‍යකාලය

නා. සිංහල අලුත් අවුරුද්ද උදාවන දිනයෙහි පුණ්‍ය කටයුතුවල නිරත වීම සඳහා යෙදී ඇති වේලාව ; නොනගතය ; සංක්‍රාන්ති සමය.

පුණ්‍යමහිමය

නා. පිනෙහි උදාරත්වය ; පින්බලය ; පුණ්‍යානුභාවය.

පුණ්‍යය

නා. පින ; කුසලය.

පුණ්‍යලක්ෂණය

නා. පින් ඇති බව දැක්වෙන රූප ලක්ෂණය ; පින් ලකුණු ; භාග්‍යසම්පන්න රූපශෝභාව.

පුණ්‍යවස්තූ

නා.ප්‍ර.බහු. (දානය, සීලය ආදි) පුණ්‍යක්‍රියා දොළොස.

පුණ්‍යශ්‍රී

නා.ප්‍ර. පිනෙන් පහළ වූ සිරිය ; වාසනා මහිමය.

පුණ්‍යාධාරය

නා. පින් පිණිස පරිත්‍යාග කරන දෙය.

පුණ්‍යානුමෝදනාව

නා. පින් පැමිණ වීම ; කරන ලද පින්කම පිළිබඳ ව අනුසස් පවසන දේශනාව.

පුණ්‍යායතනය

නා. පුණ්‍ය කටයුතු සඳහා පිහිටු වන ලද ආයතනය.

පුණු

1. නා.ප්‍ර. පිරුණු දෙය; සම්පූර්ණ වූ දෙය. පසළොස්වක; පූර්ණ පොහොය.
3. එළුසැහැලි විරිතක්.

පුණුපොහොය

නා. පූර්ණ පොහොය ; කලා සම්පූර්ණ වූ චන්ද්‍රයා ඇති උපෝසථ දිනය ; පසළොස්වක පොහොය.

පුණුයක්

නා.ප්‍ර. පූර්ණ යක්ෂයා.

පුතණ්ඩ

නා. ආදරණීය පුතා ; ප්‍රිය පුත්‍රයා.

පුතණු

නා.ප්‍ර. උතුම් පුතා ; ශ්‍රේෂ්ඨ පුත්‍රයා.

පුත් කුමර

නා.ප්‍ර. කුමාර තත්ත්වයේ ජීවත් වන පුතා ; පුත්‍ර කුමාරයා.

පුත්‍ර

නා.ප්‍ර. පුතා.

පුත්‍රකලත්‍ර

නා.ප්‍ර. දරුමලු පිරිස ; දූ පුතුන් හා භාර්යාව.

පුත්‍රකාරක

නා.ප්‍ර. පුත්‍රයන් ලබා දෙන ගුරු ග්‍රහයා ; බ්‍රහස්පති ග්‍රහයා.

පුත්‍රගේධ

නා.ප්‍ර. දරු සෙනෙහසෙහි ගිජු බව ; දූ පුතුන් කෙරේ පවත්නා අතිමාත්‍ර වූ ඇල්ම.