සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1217

මහම්මා

[මහ + අම්මා]
නා. මව ගේ වැඩිමහල් සොහොයුරිය ; ලොකු අම්මා.

මහමී

1. නා.ප්‍ර. මහ පොළොව.
2. තලතෙල් පැහැ ඇති මීමැසි වර්ගයක්.
3. බඹර පැණි.

මහමෙර

නා.ප්‍ර. සප්ත මහාද්වීප මැද පිහිටා ඇතැයි සැලකෙන මහාමේරු පර්වතය.

මහමෙහ

නා. මහා වර්ෂාව ; මහා මේඝය.

මහරැටියා

නා. ජනපදයක් පාලනයට පත් කර සිටි නිලධාරියා ; රට ලද්දා.

මහරු

වි. මහාර්ඝ ; අනගි ; උතුම් ; පූජ්‍ය.

මහරුත

නා. පොල් ගස.

මහල

1. නා. ප්‍රාසාදය ; රජ ගෙදර; මාළිගාව.
2. ප්‍රාසාදයෙහි තට්ටුව ; භුමකය ; මතු මහල් තලය ; උඩුමහල.

මහල්ලා

නා. වයසින් හා ගුණයෙන් වැඩිහිටි තැනැත්තා ; වැඩිහිටියා ; වැඩි මහල්ලා.

මහලිය

නා. ලොකු වැල.

මහලු

1. වි. මහත් ; ලොකු.
2. වැඩිමහලු ; වෘද්ධ.
3. දිරාගිය ; දුර්වල.

මහලේනා

නා. මහා ලේඛක නායකයා.

මහවත

නා. මහ පාර ; මහා මාර්ගය.

මහවත්

[මහ + වත්]
1. නා.ප්‍ර. භික්ෂූන් උදෙසා පනවා වදාළ වත් (වැදගත් නීතිරීති) දහ හතර.
2. මහ මුහුණා ; බකමුහුණා.

මහවාසල

1. නා. රජ මාලිගය ; එහි ප්‍රධාන දොරටුව.
2. ප්‍රධාන දොරටුව.

මහවුර

නා.ප්‍ර. මහා ප්‍රාකාරය ; පැරණි නගර වටා බැඳි පවුර සම්බන්ධයෙන් කියැවේ.

මහසත්

1. නා.ප්‍ර. මහා සත්ත්වයා ; බෝධිසත්ත්වයා.
2. මහත් වූ ඡත්‍රය

මහසර

[මහ + සර]
1. නා.ප්‍ර. මහත් වූ ශබ්දය.
2. මහ තටාකය ; මහවිල.

මහසල්

1. නා.ප්‍ර. මහාසාර කුලය ; මහා ධන සම්පත්තියෙන් සමෘද්ධි කුල පරපුර ; මහසල් කුලය.
2. මහා ශාලාව.
3. මහාශාල හෙවත් සල් වෘක්ෂය.

මහසාය

නා. මහා සාගතය ; මහා දුර්භික්ෂය.

මහසොහොනා

1. නා. සන්නි ගණයට අයත් වන දරුණු යක්ෂයා.
2. දරුණු මිනිසා.

මහා අන්ත්‍රය

නා. ශේෂාන්ත්‍රකයෙහි සිට ගුදය දක්වා තිබෙන කොටස.

මහා ඉම

නා. ගමකින් ගමක් වෙන් කරන ඉම ; නගර ග්‍රාම ආදියෙහි සීමාව ; මායිම.