සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1224

මාත්සරික

(පාරිභා.) වි. මරණය ඇති කරන ; උග්‍ර ; දරුණු.

මාත්‍රඥතාව

නා. පමණ දැනීම ; මාත්‍රඥභාවය.

මාත්‍රය

1. නා. (උස, දිග, පළල ආදිය පිළිබඳ) ඉතා කූඩා ප්‍රමාණය.
2. වෙසෙසින් වෙන් කොට දක්වන ලද්ද.
3. ටික ; ස්වල්පය ; පමණ ; විතර.
4. (ක්‍රිස්ති.) ආකාරය ; සැලැස්ම; පිඹුර.
5. (ක්‍රිස්ති.) ආදර්ශය.
6. පුරාණ ලංකාවේ ප්‍රතිමා නිර්මාණය පිළිබඳව යොදන ලද මිම්මක් ; අඟල් එකක දිග.
7. (පාරිභා.) (ගණිත.) සමීකරණයක තත්ත්ව ප්‍රමාණය.

මාත්‍රාංශය

[මාත්‍රා + අංශය]
නා. (ව්‍යාක.) මාත්‍රාවේ කොටස ; ලකුණ ; ඇදය.

මාත්‍රාගණකය

(පාරිභා.) නා. ගීතයක තාලමානය හරි හැටි බලාගැනීම සඳහා පිළියෙල කරගෙන ඇති සියුම් උපකරණයක් ; තාලමානය.

මාත්‍රාව

1. නා. ඇසිපිය හෙළීමට හෝ අසුරුසනකට ගත වන කාලය ; නිමේෂය ; ඒ කාලය තුළ උච්චාරණය කළ හැකි ශබ්දය.
2. (සංගී.) ශබ්දයක් පවතින කාලය.
3. තරම ; සමත්කම.
4. වරකට ගත යුතු බෙහෙත් ආහාරපාන ආදියේ ප්‍රමාණය.
5. තෙල් බින්දු අටක ප්‍රමාණය.
6. ඉතා සුළු ප්‍රමාණය.

මාත්‍රාහානිය

නා. මාත්‍රාවක් අඩු වීම ; දීර්ඝ මාත්‍රාවක් හ්‍රස්ව බවට පැමිණීම.

මාතා

1. නා.ප්‍ර. අම්මා ; මව ; ජනනී.
2. මහෝත්තමයා ; මහා කාරුණිකයා.

මාතාමහ

නා.ප්‍ර. මවගේ පියා ; මුත්තා ; සීයා.

මාතික

වි. මව සම්බන්ධ වූ.

මාතිකාමර්ම

නා.ප්‍ර. ශරීරයේ පිහිටි අටවැදෑරුම් මර්මස්ථාන.

මාතිකාව

1. නා. මැය ; ශීර්ෂ පාඨය ; මාතෘකාව.
2. ප්‍රධාන ජල මාර්ගය.
3. මැද මොළය හරහා දිවෙන පසු මොළය.
4. (විනය.) කඨිනයක් ඉදිකිරීමට හේතුවන කාරණය ; කඨිනුද්ධාරය සිදු වන කරුණ.

මාතු

නා.ප්‍ර. මව.

මාතුගාම

නා.ප්‍ර. ස්ත්‍රිය ; කාන්තාව ; මාගම.

මාතුභාර්යා

නා.ප්‍ර. මවක් වැනි භාර්යාව.

මාතුරක්ඛිකා

නා.ප්‍ර. මෑණියන් විසින් රක්නා ලද යුවතිය ; මවගේ රැකවරණය යටතේ වෙසෙන තරුණ කාන්තාව.

මාතුල

නා.ප්‍ර. මවගේ සොහොයුරා ; මාමා.

මාතුලානී

1. නා.ප්‍ර. මාමාගේ බිරිඳ ; නැන්දණිය.
2. කංසා ; ගඤ්ජා.

මාතෘ

1. වි. උපත දෙන ජනනය කරන.
2. ප්‍රධාන ; මුල් ; මූලික.
1. නා.ප්‍ර. මව ; මාතාව.
2. ලෙයින් උපදනා ශරීරගත කෘමියෙක්.

මාතෘ දේවතාවිය

නා. මාතෘ දේවිය.

මාතෘ භාෂාව

1. නා. යම් තැනැත්තකුට උපතින් හිමි බස ; ජන්ම භාෂාව ; මව්පියන්ගේ භාෂාව.
2. (යම් භාෂාවක් සකස්වීමට) මාතෘත්වය සැලසූ මූල භාෂාව ; මුල් බස.

මාතෘ විලෝකනය

නා. මව සොයා බැලීම ; බෝසතුන් බුදුවන ජන්මයේ දී පිළිසිඳ ගැනීමට සුදුසු කවර මවගේ කුස ද යනු සොයා බැලීම.

මාතෘ සෛලය

(පාරිභා.) නා. දුහිතෘ සෛල ඇති කරමින් බෙදෙන සෛලය ; මූල සෛලය.

මාතෘඅක්ෂය

(පාරිභා.) නා. මලක මවු නැටිය.