සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1235

මැල්පිගීය ස්තරය

(පාරිභා.) නා. පෘෂ්ඨවංශී සතුන්ගේ සමෙහි පිහිටා ඇති ගැඹුරුම ස්තරය.

මැල්ල

1. නා. අලසබව ; කම්මැළිකම.
2. මොළොක් ගතිය.
3. ඖෂධීය ශාක විශේෂයක්.

මැල්ලුම

1. නා. පලා වර්ග සිහින්ව ලියා පොල් මිශ්‍ර කර මලවා ගනු ලබන ආහාර විශේෂය.
2. කැඩුම් බිඳුම් ආදියට ඖෂධීය ශාඛ වර්ග කොටා මලවාගනු ලබන මිශ්‍රණය.

මැලි

1. නා.ප්‍ර. දත්වල බැඳෙන මැලියම්.
2. ලාටු ; මැලියම්.
3. කුඩා මල.
වි. කම්මැළි ; අලස.

මැලික් අම්ලය

(පාරිභා.) නා. (රසා.) අමු ගෙඩිවල ඇති අම්ල විශේෂය.

මැලියම්

නා.ප්‍ර. යමක් ඇලවීමට ගනු ලබන ලාටු විශේෂය.

මැලේ

1. නා.ප්‍ර. ආසියා මහාද්වීපයේ තායිලන්තයෙන් දකුණට විහිදුණු අර්ධද්වීපය ; මලයාව.
2. මැලේසියාවේ ද සිංගප්පූරුවේ ද වෙසෙන ජන වර්ගය.
3. එම ජනවර්ගයට අයත් භාෂාව.

මැලේරියාව

නා. ඇනෝෆිලිස් මදුරුවා දෂ්ට කිරීමෙන් වැලඳෙන භයානක උණ.

මැවීම

නා. යමක් නිර්මාණය කිරීම ; දැනීමට සැලැස්වීම ; මවා පෑම.

මැවුම්කරුවා

1. නා. සර්වබලධාරී දෙවිඳු.
2. යමක් නිර්මාණය කරන්නා.

මැෂින් තුවක්කුව

නා. ස්වයංක්‍රීයව ක්‍රියා කළ හැකි තුවක්කු වර්ගයක්.

මැෂිම

1. නා. යන්ත්‍රය ; යම් කටයුත්තක් ඉටු කරගැනීම සඳහා චලනය වන නොහොත් කොටස්වලින් යුක්තව සාදා ගන්නා ලද උපකරණයක්.
2. රෙදි මැසීමේ යන්ත්‍රය.

මැසවිලි

නා. කන්නලවුව ; බැගෑපත් ඉල්ලීම ; අඳෝනාව.

මැස්ම

1. නා. මැසීම ; යා කිරීම ; මූට්ටු කිරීම.
2. මසා යා කිරීම දැක්වෙන විලාසය ; මැහුම් ක්‍රමය.

මැස්මරිසම්

නා.ප්‍ර. මෝහන විද්‍යාව.

මැස්ස

1. නා. යමක් තැබීම සඳහා ලීයෙන් හෝ වෙනත් දෙයකින් සාදන ලද තට්ටුව.
2. අට්ටාලය.
3. ලීයෙන් සාදන ලද ඇඳක් වැනි තට්ටුව.
4. පතෝල, වැටකොළු ආදි වැල්වර්ග දිවීම සඳහා තනාගන්නා ආධාරකය.

මැස්සා

නා. පියාපත් දෙකක් ඇති කුඩා කෘමියෙක්.

මැසි

1. වි. පිරුණු මාස ඇති.
2. මැස්සන්ට අයත් ; මැස්සන් පිළිබඳ.
1. නා.ප්‍ර. මැහි ; ඉහළින් ඉදි කරන ලද තට්ටු ; අට්ටාල.
2. ඇඳ ; යහන.
3. අමර්ෂය ; කෝපය ; උදහස.
4. විරහයෙන් ඇති වන කෝපය.

මැසිගෙය

නා. අටල්ල ; ඉතා උස්ව තැනූ මුරගෙය.

මැසිතුඩ

නා.ප්‍ර. මැස්සන්ගේ මුඛයෙහි ඇති දළ.

මැසිතෙල්

නා.ප්‍ර. ගොයම් මැස්සන් වැනි කෘමීන් විනාශ කිරීමට භාවිත තෙල්.

මැසිදා

නා.ප්‍ර. සිංහල ඖෂධ වර්ගයක් ; මී පැණියෙන් හෝ මී ඉටිවලින් තැනූ හකුරු.

මැසින්න

නා.ප්‍ර. මත්ස්‍ය ධේනුව.