සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1273

මේ

1. නා.ප්‍ර. වැසි වලාකුළ.
2. මෙහෙය ; සේවය.
3. ආහාරය ; භෝජනය.
4. මේදය.
5. මේහනය ; වැගිරීම.
6. පිරිසිදුබව ; පවිත්‍රතාව.

මේ කරු

[මේ + කරු]
1. නා.ප්‍ර. අරක්කැමියා ; රෝගියා.
2. මෙහෙ කරන්නා ; උපස්ථායකයා.

මේ කල්

නා.ප්‍ර. මේඝ කාලය ; වර්ෂ කාලය.

මේ කුළ

නා. මේඝ කූටය ; වැසිවලාකුළ.

මේ ගැජුම්

නා.ප්‍ර. මේඝ ගර්ජනා ; ගොරවන හඬ ; ගෙරැවිල්ල.

මේ වඩනවා

1. ක්‍රි. රජුට ආහාර පිළිගන්වනවා.
2. ආහාර අනුභව කරනවා ; වළඳනවා.

මේඛලාව

1. නා. මෙවුල.
2. (ප්‍ර. යෙදේ) (ජ්‍යෝති.) සරල සමාන්තර රේඛාවනට යොදන නාමය.
3. සිරුරේ ඉහළ හා පහළ ගාත්‍රා සම්බන්ධ වන අස්ථිමය සැකිල්ල.

මේඝ

1. නා.ප්‍ර. වැහි වලාකුළු.
2. වැසි ; වර්ෂා.
3. (ප්‍ර. යෙදේ) භාරත සංගීත ශාස්ත්‍රයේ ඉගැන්වෙන රාග හයෙන් එකක්.

මේඝ වර්ණ

වි. මේඝයක හෙවත් වලාකුළක පැහැය ඇති ; තද නිල් පැහැ ඇති ; සුනීල.

මේච්චලය

නා. පාලනය ; හසුරුවා ගැනීම ; කීකරු කිරීම ; හීලෑ කිරීම.

මේච්චල්

වි. හසුරුවාගත හැකි ; පාලනයට පහසු ; කීකරු ; හීලෑ.

මේද

නා.ප්‍ර. ප්‍රධාන ආහාර ද්‍රව්‍ය කොටස් තුනෙන් එකක් ; උසස් මේද අම්ලවල ග්ලිසරයිඩවලින් සමන්විත ස්වාභාවික ව පවතින ද්‍රව්‍ය ශ්‍රේණියෙහි එකක් ; තෙල්.

මේද අම්ල

(පාරිභා.) නා.ප්‍ර. (රසා.) සන්තෘප්ත හා අසන්තෘප්ත ඒකභාස්මික ඇලිපැටික කාබොක්සිලික් අම්ල.

මේද ග්‍රන්ථි

(පාරිභා.) නා.ප්‍ර. මිනිස් සිරුරේ සමට යටින් පිහිටි ප්‍රධාන ග්‍රන්ථි වර්ග තුනෙන් එකක්.

මේද පටකය

(පාරිභා.) නා. මේදවලින් පිරුණු සෛලවලින් සෑදුණු සම්බන්ධක පටකයක්.

මේද සෛලය

(පාරිභා.) නා. ශරීරයේ මේදය තැන්පත් කෙරෙන විශේෂයෙන් විශාල වූ සෛලයක්.

මේදස

නා. ශරීරයේ සප්ත ධාතුන්ගෙන් එකක් ; ඝන වූ මස් තෙල.

මේදෝ මානය

නා. කිරිවල මේද ප්‍රමාණය මැනීමේ උපකරණයක් ; බියුටිරෝ මීටරය.

මේධ්‍ය

වි. පවිත්‍ර ; පිරිසිදු.

මේධාවී

වි. නුවණ ඇති ; ප්‍රඥාවන්ත ; ඥානවන්ත.
නා.ප්‍ර. නුවණැත්තා ; ප්‍රඥාවන්තයා ; ඥානවන්තයා.

මේරීම

නා. මෝරා යෑම ; මුහුකුරා යෑම.

මේල පලඳනාව

නා. කාන්තාවන් ඉණ වටා පලඳින ආභරණ විශේෂයක් ; මෙවුල.

මේලය

1. නා. (කථා. පාත.) සොල්දරය ; මහල ; උඩ තට්ටුව.
2.අටුව ; අටල්ල.