සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1303

යොබ්බනය

නා. තරුණ බව ; තාරුණ්‍යය ; යෞවනය.

යොමු

1. වි. අභිමුඛ කළ ; හැර වූ.
2. නැමුණු ; අධෝමුඛ වූ.
3. යෙදුණු.
4. ව්‍යාවෘත වූ.
5. යම්දෙයකට අදාළ ; යමකට සම්බන්ධකමක් ඇති.

යොමු උපකරණය

නා. පරිගණකය හැසිරවීම සඳහා උපයෝගී කර ගන්නා ආදාන උපකරණය ; මවුසය.

යොමු කරනවා

1. ක්‍රි. අභිමුඛ කරනවා ; හරවනවා.
2. මෙහෙයවනවා ; යොදවනවා.
3. ඉදිරිපත් කරනවා ; අවධානයට ලක් කරනවා.

යොමු කිරිම

නා. පරිගණකයේ තිරය මත ඇති විශේෂ ලක්ෂ්‍යයක් වෙත මවුස් පොයින්ටරය ගෙන යෑම ; අකුරුවල උස මනින මිම්ම.

යොමුපත

නා. ශබ්දකෝෂ කරණයේ දී අවශ්‍යවන ඒ ඒ වචනය සඳහන් වන ග්‍රන්ථය හා ස්ථානය ලියා ඇති කාඩ්පත.

යොමුව

1. නා. අදාළ කාරණයක් හා සම්බන්ධය දැක්වීම ; අදාළ කරුණ හෝ තැන දැක්වීම.
2. අන්තර්ජාලයේ දී පරිගණකයක් හඳුන්වන නම ; විද්‍යුත් තැපැල් ලිපිනය ; වෙබ් අඩවියක ලිපිනය ; පරිගණක මතකයේ ඇති දත්ත පිහිටි තැන හඳුනාගන්නා සංඛ්‍යාව හෝ කේතය.

යොරයොර

නි. නිතර ; නොයෙක් වර ; නැවත නැවත.

යොවුන

නා. තරුණකම ; යොවුන් බව ; යෞවන භාවය.

යොවුනඟන

[යොවුන් + අගන]
නා. තරුණ කාන්තාව ; යෞවන ස්ත්‍රිය.

යොවුනඹ

[යොවුන් + අඹ]
නා. තරුණ කාන්තාව ; යෞවන ස්ත්‍රිය.

යොවුන්

වි. තරුණ ; යෞවන.

යොවුනුදාව

[යොවුන් + උදාව]
නා. යොවුනෝදය, යොවුන් උදය යොවුන් බව උදා වීම ; වැඩිවියට පත් වීම ; ලිංගික මුහුකුරා යාම.

යෝ

1. නා.ප්‍ර. යෝධයා ; යුද්ධභටයා.
2. ස්ත්‍රී නිමිත්ත ; යෝනිය.

යෝක්

නා.ප්‍ර. ස්ත්‍රීන්ගේ ඇතැම් ඇඳුම් මැසීමේ දී භාවිත කරන මෝස්තරයක්.

යෝග කර්මය

නා. යෝග කටයුතු යෙදීම් ; භාවනා කිරීම.

යෝග කලාව

නා. (පාරිභා.) නා. (සෛල) අනුතන විභජනයේ දී වර්ණදේහ රැස් වී සමක තලය බවට පත් වන අවස්ථාව.

යෝග කාරකයා

නා. ග්‍රහයෝග ඇති කරන්නා ; යෝග කර්තෘ.

යෝග දර්ශනය

නා. ධ්‍යාන, සමාපත්ති, අභිඥා වශිතාදිය ප්‍රධාන කොට උගන්වන ශාස්ත්‍රය ; පාතඤ්ජලී සෘෂීන්ගේ මතය.

යෝග නිද්‍රාව

නා. යෝගානුසාරයෙන් නිද්‍රාවට පත්වීම ; සිත එකඟ කිරීමෙන් ඇති වන නින්ද.

යෝග බලය

1. නා. ග්‍රහ යෝගයකින් ඇති වන බලය.
2. යෝගී ක්‍රම නිසා ඇති වන බලය.

යෝග බාධකය

(පාරිභා.) නා. සමහර පුෂ්පයන්ගේ කීලය හා රේණුවල පිහිටීමේ බාධකය.

යෝග විද්‍යාව

නා. යෝග ක්‍රම විස්තර කෙරෙන ශාස්ත්‍රය ; භාරතීය යෝග ක්‍රමය ; යෝග ශාස්ත්‍රය.

යෝග විධානය

නා. රාජකාරියෙහි යෙදීමට නියම කිරීම ; රාජ නියෝගය.