සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1349

රාජානුඥාව

නා. රාජ නියෝගය.

රාජානුභාවය

නා. රජුගේ තේජස ; රජුගේ බලපරාක්‍රමය.

රාජාපරාධය

නා. රජුට හෝ රජයට හෝ විරුද්ධ ව කරන ක්‍රියාව.

රාජාපස්වාදීකම

නා. රජුට විරුද්ධ ව කටයුතු කිරීම ; රාජ්‍ය කටයුතුවලට බාධා කිරීම.

රාජාභිධානය

නා. රාජ නාමය.

රාජාභිමානය

නා. රජකුගේ ගර්වය ; රජකු සතු උසස් හැඟීම.

රාජාභිෂේකය

[රාජ + අභිෂේකය]
නා. රජකම භාරදීමේ උත්සවය ; ඔටුනු පැළැන්දවීම.

රාජාවරෝධය

නා. රජුගේ අන්තඃපුර ස්ත්‍රීන්ගේ නිවාසය.

රාජාසන

නා.ප්‍ර. රජුගේ ආසනය ; සිංහාසනය.

රාජාසනකථාව

නා. පාර්ලිමේන්තුවේ දී රජු විසින් හෝ රජු වෙනුවෙන් හෝ කරනු ලබන කථාව.

රාජිත

වි. දීප්තිමත් ; දිලිසෙන ; බබළන.

රාජිනී

නා. රැජින ; බිසොව ; අග මෙහෙසිය.

රාජිය

1. නා. පටු දික් දාරය ; රේඛාව.
2. රොද ; පේළිය ; රැල්ල.
3. ධාරාව ; සමූහය.
4. පැහැය ; වර්ණය.

රාජූපභෝග

[රාජ + උපභෝග]
වි. රජුගේ පරිහරණයට සුදුසු.

රාජෝත්තමයා

නා. උතුම් රජ ; ශ්‍රේෂ්ඨ රජ.

රාජෝපාය

නා. රජුන්ගේ උපාය ; ජාත්‍යන්තර සම්බන්ධය පැවැත්වීමේ ක්‍රියා මාර්ගය.

රාඥිය

නා. රැජින ; රාජ මහේෂිකාව.

රාඩාර්

නා.ප්‍ර. රේඩියෝ තරංගවල ප්‍රතිනාදය මඟින් වස්තුවක දුර සොයාගත හැකි ක්‍රමය.

රාත්තල

නා. බර මැනීමේ ඒකකයක් ; අවුන්ස දහසයක බර ප්‍රමාණය.

රාත්‍රඥ

වි. බොහෝ කල් දන්නා ; වැඩි මහලු ; බහුශ්‍රැත.

රාත්‍රි

නා.ප්‍ර. දවසේ සන්ධ්‍යා කාලය අවසන්වීමෙන් පසු අලුයම හිරු එනතෙක් පවතන අන්ධකාර කාලය ; රැය ; රාත්‍රිභාගය.

රාත්‍රි අන්ධතාව

නා. රාත්‍රියට ඇස් නොපෙනී යාමේ ආබාධය.

රාත්‍රිජ

නා.ප්‍ර. රාත්‍රියෙහි හට ගැනෙන දැය ; තාරකාව.

රාත්‍රිජ්වරය

නා. රාත්‍රියට උණ හට ගැනීම ලක්ෂණ කොට ඇති රෝගය.