සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1350

රාත්‍රිනාථ

නා.ප්‍ර. රාත්‍රියෙහි ස්වාමියා වන චන්ද්‍රයා.

රාන්චිය

නා. සනීප පුටුව ; හාන්සි පුටුව.

රාබත්

නා.ප්‍ර. රා භාජනයක් පතුලේ තැන්පත් වන මණ්ඩි.

රාබරුව

නා. හිස මතින් කරකවා ශබ්ද නැංවීමෙන් ගොවිතැන් පාළු කරන සතුන් එළවා දැමීමට භාවිත කරන උපකරණයක් ; කොටිපෙත්ත ; රාබූරුව.

රාබු

නා.ප්‍ර. සුදු අලයකින් යුත් එළවලු පැළෑටියක්.

රාම

1. නා.ප්‍ර. රාම කුමාරයා.
2. අංජනම් එළි බැලීමේ දී පෙනෙන්ට වන දේවතාවා.
3. නක්ෂත්‍ර රාශියක නාමය ; මීන රාශිය.
4. විෂ්ණු දෙවියාගේ දශ අවතාරවලින් එකක්.

රාම සේතුව

නා. ආදම්ගේ පාලම ; ශ්‍රී ලංකාවත් දකුණු ඉන්දියාවත් අතර ඇති පටු මුහුදු තීරය හරහා බඳින ලදැයි සැලකෙන පාලම.

රාම හරමය

නා. සිංහල නැටුම් පුහුණුවීමේ දී දණ්ඩියේ නටන හරම දොළොසින් එකක්.

රාමණෙය්‍ය

වි. රමණීය ; සිත්කලු.

රාමතෙල්

නා.ප්‍ර. බඩේ තිබී ආහාර ගඳින් යුක්ත ව මුවෙන් පිටවන වාතය.

රාමන් ආවරණය

නා. (භෞති.) වස්තුවක් ඒකවර්ණ ආලෝකයකින් ආලෝකවත් කළ විට විකිරණය වන ආලෝකයෙහි වර්ණාවලියේ අමතර රේඛා පෙනෙන්නට වීම.

රාමරොටුව

(කථා.) නා. කළුගල් කැඩීමේ දී බෝර ගැසීම සඳහා හාරන වළෙහි වෙඩිබෙහෙත් තද කිරීමට භාවිත කරන පොල්ල.

රාමසාන්

නා.ප්‍ර. ඉස්ලාම් භක්තිකයන් දිවා කල් උපවාසයේ යෙදෙන උත්සව මාසය.

රාමසැරය

නා. රාත්‍රියට අහසේ වේගයෙන් ඇදී යන ආලෝක විශේෂය ; උල්කාපාතය.

රාමුව

1. නා. කන්නාඩි, ඡායාරූප, පින්තූර ආදියට ආරක්ෂාව හා ශක්තිය දීම සඳහා ඒ වටා සවි කරනු ලබන සවි වාටිය.
2. යම් කටයුතු, සැලසුම් අදහස් ආදිය හා ආශ්‍රිත සීමාව.
3. රාහුගේ මුඛය.

රාල

1. නා.ප්‍ර. මහනුවර රාජ සමයේ දී නිලතල දරූ ඇතමුන් හැඳින්වුණු නාමය.
2. ස්වාමි පුරුෂයා.

රාලහාමි

1. නා. මහනුවර රජ සමයේ දී නිලතල දැරූ ඇතමුන් හැඳින්වුණු නාමය.
2. ගොවි වංශිකයන් සඳහා යෙදුණු නාමයක්.
3. වත්මන්හි ගම්මුලාදෑනි, පොලිස් කොස්තාපල් ආදී නිලදරුවන් සඳහා යෙදෙන නාමයක්.

රාව ප්‍රතිරාව

නා.ප්‍ර. නාදය හා ඉන් නැගෙන අනුනාදය ; හඬ සහ අනුහඬ ; රැව්-පිළිරැව්.

රාවක

වි. හඬ දෙන ; රාවය කරන ; නද දෙන.

රාවකය

1. නා. හඬ කුරුව ; හඬ උපද්දන උපකරණය.
2. හඬක් ඉපදීමත් එහි දෝංකාරය ලැබීමත් සඳහා ගත වන කාලය මැනීමේ උපකරණයක්.

රාවණ

නා.ප්‍ර. අතිපුරාණයේ ලංකාවේ රාජ්‍යය කළ රාක්ෂස ගෝත්‍රයේ ප්‍රතාපවත් රජුගේ නාමය.

රාවණ රැවුල්

නා.ප්‍ර. මුහුදුබඩ වැලි තීරු මත වැවෙන කටු සහිත තණ වර්ගයක්.

රාවණ සුළං

නා.ප්‍ර. (භූගෝ.) දකුණු අර්ධගෝලයේ සාමාන්‍යයෙන් 40° නිරක්ෂ රේඛාව ආශ්‍රිත ව ප්‍රචණ්ඩ ව අවුරුද්ද පුරා හමන බටහිර දිග සුළං.

රාවය

1. නා. හඬ ; ශබ්දය ; නාදය.
2. (තූර්ය) නාදය ; (සංගීත ආදියේ මියුරු) හඬ.
3. ආරංචිය ; කටකතාව.