සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1375

රෝග නිවාරක

(පාරිභා.) වි. රෝග වළක්වන ; ලෙඩ වැළදීමේ මං අවුරන.

රෝග නිවාරණය

නා. ලෙඩ රෝග වළකාලීම.

රෝග ප්‍රතිරෝධනය

(පාරිභා.) නා. රෝගවලට විරුද්ධ ව ක්‍රියා කිරීමේ බලය ; ආසාදනයට ඔරොත්තුදීමේ ශක්තිය.

රෝග ප්‍රාකීය සමය

(පාරිභා.) නා. විෂබීජ ශරීරගත ව රෝග වැළඳීමට ගතවන කාලය ; රෝග බීජාණුවල වර්ධන කාලය ; රෝග බීජෞෂණ සමය.

රෝග පීඩා

නා.ප්‍ර. ලෙඩ නිසා ඇති වන කරදර ; ලෙඩ රෝග.

රෝග බීජ නාශකය

(පාරිභා.) නා. රෝග බීජවල බලය මර්දනය කරන දෙය.

රෝග ලක්ෂණ

නා.ප්‍ර. රෝගය හඳුනා ගැනීමට උපකාරි වන ලකුණු ; විවිධ ශාරීරික ආබාධවල දී දක්නට ලැබෙන ලක්ෂණ.

රෝග වාහකයා

නා. රෝගය පතුරුවන්නා ; රෝගබීජ එක් අයකුගෙන් තව අයකූට ගෙනයන්නා.

රෝග සංක්‍රාමී

(පාරිභා.) වි. රෝග බෝවන ; ලෙඩ පැතිරීයන.

රෝග හාරි

නා.ප්‍ර. රෝගය නැති කරන්නා ; වෛද්‍යවරයා ; භිෂක්වරයා.

රෝගබීජ විද්‍යාව

(පාරිභා.) නා. ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ ව උගන්වන ශාස්ත්‍රය ; ක්ෂුද්‍ර ජීව විද්‍යාව.

රෝගශමක

වි. ලෙඩ සංසිඳුවන ; ව්‍යාධිසමනය කරන.

රෝගාත්මක

(පාරිභා.) වි. රෝග විනිශ්චය පිළිබඳ.

රෝගාතුර

වි. රෝගී ; ලෙඩ සෑදුණු ; ගිලන් ; අසනීපයෙන් සිටින.

රෝගි

වි. ලෙඩක් වැළඳණු ; ගිලන් බවට පත් ; රෝගාතුර.
නා.ප්‍ර. ලෙඩා ; ගිලනා ; ආතුරයා.

රෝගෝපශමය

(පාරිභා.) නා. ලෙඩ සුව වී ප්‍රකෘති තත්ත්වයට පැමිණීම ; රෝගය සන්සිඳීයාම.

රෝචක

1. වි. රුචි කරන.
2. බඩගිනි වඩන.
1. නා.ප්‍ර. රුචිය ; කැමැත්ත.
2. බඩගින්න.

රෝචන

වි. බබළන ; දීප්තිමත් ; ප්‍රසන්න ; රමණීය.

රෝචනය

නා. (ආහාර ගැනීමේ) රුචිය ; රිසිය ; ප්‍රියතාව.

රෝට්ටුව

නා. මහ පාර ; මහ මාවත.

රෝඩියම්

(පාරිභා.) නා.ප්‍ර. ප්ලැටිනම් කාණ්ඩයට අයත් ලෝහමය මූල ද්‍රව්‍යයක්.

රෝද කියත

නා. යන්ත්‍ර බලයෙන් ක්‍රියා කරන දැති රෝදයක් ඇති උපකරණය.

රෝද ගිනිගල

නා. ආයුධ මුවහත් කිරීම සඳහා වක්‍රාකාරව ගිනිගලකින් යුක්ත ව සාදන ලද උපකරණයක්.

රෝද නාභිය

නා. රෝදයක අක්ෂය ; බොස් ගෙඩිය.