සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1483

ව්‍රතදීක්ෂා

නා.ප්‍ර. පිළිවෙත් රැකීම ; පිළිවෙත්හි යෙදීම.

ව්‍රතය

1. නා. ඉන්ද්‍රීය සංයමය ආදියට හේතුවන පැවැත්ම ; සම්පූර්ණ කළ යුතු ගුණ ධර්මය.
2. බාරය ; පොරොන්දුව.
3. දෙවියන් උදෙසා පවත්වන පූජා විධියක්.

ව්‍රතසමාදානය

නා. ඉන්ද්‍රිය සංවරාදිය සඳහා වත් පිළිවෙත් සමාදන්වීම ; පිළිවෙත් පිරීම.

ව්‍රීඩා

නා.ප්‍ර. ලජ්ජාව ; විළිබිය.

ව්‍රීහිකෝෂ්ඨය

නා. ධාන්‍ය වර්ග රැස්කර තබන ගබඩාව ; කෝෂ්ඨාගාරය.

ව්‍රෘත්‍යයා

නා. ධර්මයෙන් ගිලිහී ගියා වූද වේදයට ගරු සරු නොදක්වන්නා වූ ද පිටුවහල් කරන ලද බ්‍රාහ්මණයා.

වා

1. නා.ප්‍ර. වචනය ; වදන.
2. වාතය ; සුළඟ.
3. අවුරුද්ද
4. තැළීම ; පහරදීම.
5. වෑය.
නි. ප්‍රාර්ථනයෙහි යෙදෙන නිපාතය.

වා අවුරුව

නා. පොම්පයකින් හෝ පයිප්පයකින් හෝ ගලා යන ද්‍රවය වායු බුබුළක් හරස් කිරීමෙන් නතර කිරීම හෝ එසේ නතර කරන උපකරණය.

වා ආමාශ ස්නායුව

(පාරිභා.) නා. පෙණහැල්ලටත් ආමාශයටත් ශාඛා යවන දහ වැනි කපාල ස්නායුව ; සමීර ජඨර.

වා උදුන

(පාරිභා.) නා. ගින්නෙත් හෝ විද්‍යුත් ප්‍රසාරණයෙන් වායු සමීකරණය කොට ආහාර සකසා ගැනීමට යොදා ගන්නා පෝරණුව.

වා කඩ

නා.ප්‍ර. ගොඩනැගිලි බිත්ති ආදියෙහි වාතය හා ආලෝකය ලබා ගැනීමට තබන සිදුර ; කවුළුව.

වා කඩනය

(පාරිභා.) නා. සුළං පාළුව වළකනු පිණිස ගස් පේළි වැවීම ආදිය මඟින් ඇති කරන බාධකය.

වා කවුළුව

නා. වාතාශ්‍රය සඳහා භිත්තියෙහි තනා ඇති හුළං කවුළුව ; වාත කපාටය.

වා කැට

(පාරිභා.) නා.ප්‍ර. සුළගේ ක්‍රියාකාරිත්වය අනුව තුන්හුලස් බවට හැරුණු කාන්තාර වැලි කැට.

වා බොජුන

නා. වාතය ආහාර කොටගෙන ජීවත්වන්නේ යැයි සැලකෙන සත්ත්වයා ; සර්පයා.

වා සිදුර

නා. වාතය හුවමාරු කිරීමට අවශ්‍ය ඉඩ ; වාතය ඇදගැනීම සඳහා ගස්වල කඳන් මතුපිට ඇති පැලුම් හෝ විවර.

වාංගලම

(කථා.) නා. මුහුදේ රළ පහර.

වාංගු

(කථා.) වි. යටහත් පහත් ; කීකරු ; පාලනය කළ හැකි.
නා.ප්‍ර. ප්‍රවේගයක් ඉදිරියට ගමන් කිරීම නිසා ප්‍රවේග කාරකය පස්සට තල්ලු වීම.

වාංගු වෙනවා

1. ක්‍රි. පස්සට තල්ලු වෙනවා.
2. අඩු වෙනවා ; හීන වෙනවා.

වාංදු කරනවා

(කථා.) ක්‍රි. පන්හිඳෙන් ලිවීමට පුස්කොළ සූදානම් කරනවා ; පුස්කොළ පදම් කරනවා.

වාංපතුල

(කථා.) නා. හේනේ වැඩට ගෝණ ආදී සතුන්ගේ හම්වලින් පතුල් හැඩයට හදාගන්නා දළ පාවහන් විශේෂය ; ගෝණ හම් සෙරෙප්පුව ; කැලෑ සෙරෙප්පුව.

වාංමය

වි. වචනවලින් සැකසුණු ; වදනින් සෑදුණු ; වාග්මය.

වාංමාලාව

නා. වචන සමූහය ; වදන් පෙළ.

වාක

නා.ප්‍ර. ගසෙහි පට්ටය ; වැහැරි.

වාක චීර

නා. ගස් පට්ටාවලින් සාදා ගත් සිවුර.