සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1490

වාතාවපාතය

නා. ළං ළංව පිහිටි සමපීඩන රේඛාවලින් වට වූ අඩු පීඩන ප්‍රදේශය.

වාතාවරණය

1. නා. (මෝටර් රථයක) හුළං වැදීම වළක්වන ඇවුරුම.
2. වටාපිටාව ; පසුබිම.
3. වායුගෝලය ; වායු මණ්ඩලය.

වාතාවර්තනය

නා. වාතයට හෝ අනුකූලව හැරීම කරකැවීම ; ඔක්සිජන් සාන්ද්‍රණය අනුව ශාකයක් හෝ එහි අවයවයක් හෝ නැමීම.

වාතාවර්තය

නා. ආවර්තය වන සුළඟ ; සුළි සුළඟ.

වාතාවිකම්පිත

වි. සුළඟින් නොසෙලවෙන ; වාතයෙන් කම්පනය නොවන.

වාතාශය

1. නා. මත්ස්‍යයන්ගේ බඩවැලේ සිට වැඩෙන වාතය පිරි තිබෙන අන්ධාශය ; හුළං බොක්ක.
2. අත්පන්දු ආදියේ සුළං පුරවන කෝශය ; සුළං විත.

වාතාශ්‍රය

නා. වාතය හොඳින් ලැබීමට ඇති තත්ත්වය ; මනා කොට වාතය ලැබීම.

වාදං

නා.ප්‍ර. හන්දි, කෙණ්ඩා, පතුල් ඉදිමීම හා ආශ්‍රිත වාත රෝගයක්.

වාදකයා

නා. සංගීත භාණ්ඩ වාදනය කරන තැනැත්තා ; වයන්නා.

වාදක්කාරයා

නා. විරුද්ධකාරයා ; වෛරක්කාරයා ; තරහකාරයා.

වාදකාරයා

නා. වාද කරන පුද්ගලයා ; විරුද්ධ මත ප්‍රකාශ කරන්නා.

වාදනය

නා. සංගීත භාණ්ඩවලින් නාදය ඉපදවීම ; වැයීම.

වාදපථය

නා. වාදයට හේතු වූ කරුණ ; වාද මාර්ගය ; වාද ක්‍රමය.

වාදය

1. නා. විවාදය ; විරුද්ධව කරන කථාව ; තර්කය.
2. න්‍යාය ; සිද්ධාන්තය ; ධර්මතාව.
3. ධර්මය ; දෘෂ්ටිය ; ආගම.

වාද්‍ය

නා.ප්‍ර. සංගීත නාද පැවැත්වීම ; වාදනය ; වැයීම.

වාදානුවාදය

නා. වාදයට කරුණු ඉදිරිපත් කිරීම හා විරුද්ධව ඉදිරිපත් වූ කරුණුවලට ප්‍රතිඋත්තර දීම.

වාදාරෝපණය

1. නා. වාදයක් ඇති කිරීමේ අදහසින් විරුද්ධ මතයක් ඉදිරිපත් කිරීම.
2. දෝෂාරෝපණයට මඟක් සාදා ගැනීම.

වාදි

1. වි. වාද කරන ; පරවාද මර්දනයෙහි ව්‍යක්ත.
2. යම්කිසි මතයක හෝ ධර්මයක පිහිටි.

වාදිත

නා.ප්‍ර. වැයුම ; වාදනය.

වාදීභයා

නා. වාද කරන්නා නමැති ඇතා ; වාද හස්තියා ; වාදයෙහි දක්ෂයා.

වාදු

වි. විරුද්ධ ; එරෙහි වන ; ක්‍රෝධ වන.

වාදුව ගන්නවා

(කථා.) ක්‍රි. පළි ගන්නවා ; එදිරිය පිරිමහ ගන්නවා ; වාඩුව ගන්නවා.

වාදොර

නා. වාග් ද්වාරය ; කට ; මුඛය.

වාන

(කථා.) නා.ප්‍ර. ජල මාර්ගය හරහා බඳින ලද බැම්ම ; සොරොවුව ; දියදොර.