සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1505

වැල්මල්

නා.ප්‍ර. වැලකින් සෑදූ මලපුඩුව ; ලතා පාශය.

වැල්යාච්ඤා

නා.ප්‍ර. නොනවත්වා දිගින් දිගට ම කරන යාච්ඤාව.

වැල්ල

1. නා. වැලි ; වැලි සහිත බිම ; වාලුකාව.
2. මුහුදු වෙරළ.

වැල්ලකරය

නා. වෙරළබඩ ප්‍රදේශය ; වෙරළාසන්න ප්‍රදේශය ; වැල්ලබඩ.

වැල්ලවුරු

නා.ප්‍ර. වැලිවලින් සෑදූ ආවරණය ; වැලිකණ්ඩිය ; වැලිබැම්ම.

වැල්ලිරා

නා.ප්‍ර. තීරු වශයෙන් ඉරා වේළන ලද, මුව ගෝන ආදි මස්.

වැල්වටාරං

1. නා.ප්‍ර. කාරණයට අදාළ නැතිව දිගින් දිගට කරන කතාබහ ; අර්ථයක් නැති කතාබහ.
2. වැල් ගෙතී ආකුල ව සෑදුන ආවරණය.

වැලැත

නා.ප්‍ර. වැළඳ ගැනීම ; ආලිංගනය.

වැලැල්ල

(කථා.) නා. හිරු රැස් අඩු තත්ත්වය ; වැසි ඇඳිරිය.

වැලෑන

(කථා.) නා.ප්‍ර. 1. ගඟ අසබඩ පිහිටි තෙතමනය ඇති තැනිතලා භූමිය.
2. අතරින් පතර ගස් කොළං ඇති කැලෑව.

වැලි

නා.ප්‍ර. සිහින් සුදු හෝ කළු ගල් කැබලි වැනි ද්‍රව්‍යය ; විශේෂයෙන් මුහුදු සීමාවල ද ගංගා, දොළ, ඇළ, උණුසුම් හා අර්ධ කාන්තාර පුරා ද පවතින ඉතා කුඩා සියුම් බෙහෙවින් සුදුපාට පාෂාණ කැබලි.
නි. නැවත ; යළිත්.

වැලි ඌෂ්ණකය

නා. සෘජුව ම තාපය නොවැදෙන අන්දමට ගිනිදැල්ලටත් රත් කරනු ලබන භාජනයටත් අතරින් තබන භාජන විශේෂයක් ; වැලිවලින් පිරුණු නොගැඹුරු යකඩ දීසිය.

වැලි කොන්ද

නා. ස්තූපයක වේදිකාවේ ලීස්තර ; බිත්තියෙන් පිටතට ගඩොල් පන්නා කළ ලීස්තරය ; ආධාර බන්ධකය ; වාලුකා පෘෂ්ඨය.

වැලි පීරනවා

ක්‍රි. වැලි අවුස්සනවා ; වැලි පාදනවා.

වැලිකණ්ඩිය

(පාරිභා.) නා. මුහුදේ හෝ ගංගාවක දිය යට තිබෙන වැලි වැටිය.

වැලිකන්ද

නා. ගංගා මෝය, මුහුදු වෙරළ ආදිය ආශ්‍රිත ව හුළඟින් ගසාගෙන පැමිණ තැන්පත් වූ වැලිවලින් සෑදුණු වැටිය ; වැලිපරය.

වැලිගල

1. නා. වටකුරු තිරිවාණ කුඩු දියවීමෙන් සෑදුණු අවසාදිත පාෂාණයක්.
2. පිහියා ආදි ආයුධ මුවහත් තබන ගල් විශේෂයක නාමය.

වැලිගසනවා

ක්‍රි. (රූඪි.) 1. වංචා කරනවා ; සඟවනවා ; කූට උපක්‍රම යොදනවා.
2. යමකට හෝ යමෙකුට වැලි වීසි කරනවා.

වැලිතෙර

නා.ප්‍ර. වැලි සහිත ගං ඉවුර හෝ වෙරළ.

වැලිපට

නා.ප්‍ර. වැලිතලය ; පුලින තලය ; වාලුකා පට්ටය.

වැලිපත

1. නා. වැලි පිළේ අකුරු ලිවීම සඳහා ඇත්දළ ආදියෙන් කළ උපකරණය ; වැලිකූර.
2. කුඹුරක වැලි සහිත කොටස.

වැලිපස

නා. වැලි බහුල වශයෙන් තිබෙන පස ; වැලි සහිත පස.

වැලිප්ලාවිතය

නා. සුළඟට ගසාගෙන ඒමෙන් ගොඩ ගැසුණු වැලිගොඩ ; වැලිකන්ද.

වැලිපිල

නා. බාලයන්ට අකුරු ලිවීම පුරුදු කරවීමට වැලි අතුරා සකස් වේදිකාව ; වැලිපෙත. වැලි ෆිල්ටරය
(පාරිභා.) නා. ද්‍රව්‍යයක් පෙරීම සඳහා වැලි භාවිත කෙරෙන ෆිල්ටරය.