සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 151

අභේදය

නා. බිඳිය නොහැකි දෙය; වෙන් කළ නොහැකි දෙය.

අභේද්‍ය

1. වි. නොබිඳිය හැකි; බෙදිය නොහැකි.
2. වි. වෙන් නොකළ හැකි.

අභේද්‍ය අස්ථිය

නා. කොඳු ඇට පෙළෙහි පහත කෙළවර අන්තිම කටී කශේරුකාවත් අනු ත්‍රිකාස්ථියත් අතර පිහිටි ඌර්ධව භාගය පළල් වූ මඳක් නැමි කීලාකාර ඇටය; ත්‍රිකාස්ථිය.

අභේදිත

වි. නොබෙදූ; නොබෙදුණු.

අභේදෝපචාරය

නා. (ව්‍යාක.) වෙනස් වූ දෙයක් නොවෙනස් කොට සැලකීම.

අභෝජ්‍ය

වි. නොකෑ යුතු; අනුභව කිරීමට නුසුදුසු.

අම

1. වි. මරණයක් නැති; මරණ රහිත; අමරණීය.
2. වි. මිහිරි; අමෘතය සේ සුව දෙන.
1. නා.ප්‍ර. නිර්වාණය; නිවන.
2. නා.ප්‍ර. දිව්‍ය භෝජනය; සුධා භෝජනය.
3. නා.ප්‍ර. ජලය; දිය.

අම ඔසුව

නා. දිව බෙහෙත; දිව්‍ය ඖෂධය; අමෘතෞෂධය.

අම පැන

නා. අමෘත පානය; අමෘතය.

අම රසය

නා. දෙවියන්ගේ සුධා භෝජනය; අමෘතය.

අමං

නා.ප්‍ර. වැරදි මඟ; නොමඟ.

අමකර

[අම + අකර]
1. වි. අමෘතය වැනි; අමෘතාකාර වූ; ඉතා මිහිරි; සුමධුර.
2. වි. කිරිමුහුද.

අමකිරණ

1. නා.ප්‍ර. අමෘත රශ්මිය.
2. නා.ප්‍ර. සඳ; චන්ද්‍රයා.

අමග

නා. නරක මාර්ගය; වැරදි මඟ; නොමඟ.

අමට්ටනවා

(කථා.) ක්‍රි. බලෙන් ඇද දමනවා; කරකවා වේගයෙන් අදිනවා; සොලවනවා.

අමණ

නා.ප්‍ර. ජල ආවරණය; අමුණ.
වි. ලජ්ජා නැති; අශීලාචාර.

අමණ්ඩනය

නා. සැරසිලි රහිත බව; නොසැරසීම.

අමණ්ඩි

1. නා. වැඩිහිටි තැනැත්තිය; මව.
2. නා. නැන්දා; නැන්දම්මා.
3. (කථා උඩ.) නා. ඇවැස්ස මාමා; මවගේ සහෝදරයා.
4. නා. ස්වාමියාගේ හෝ භාර්යාවගේ පියා.

අමණ්ඩිත

වි. නොසරසන ලද; විසිතුරු නැති; අලංකාර නොකරන ලද.

අමත

1. නා.ප්‍ර. මරණයක් නැති බව; නිර්වාණය.
2. නා.ප්‍ර. දෙවියන්ගේ සුධා භෝජනය; අමෘතය; දිව්‍ය පානය.
3. නා.ප්‍ර. ලෙඩ; රෝගය.
4. වි. නොදන්නා ලද; අඥාත.

අමත පද

නා.ප්‍ර. මරණ රහිත තැන; නිර්වාණය.

අමතක

වි. මතක නැති; කල්පනා රහිත.

අමතනවා

ක්‍රි. ආමන්ත්‍රණය කරනවා; කථා කරනවා; කැඳවනවා.

අමතර

වි. වැඩිපුර; අතිරේක; වැඩිමනත්.