සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 154

අම්භෝරුහ

නා.ප්‍ර. නෙළුම; පද්මය.

අම්මා

1. නා. මව; මාතාව.
2. නා. තලතුනා ස්ත්‍රිය.

අම්මාවරු

නා. බෝවන රෝග ඇති කරවතැයි සලකනු ලබන දෙව්දූවරු හත්දෙනා.

අම්රස

නා. අමිහිරි රස; අප්‍රිය රස.

අම්ලකර

(පාරිභා.) නා.ප්‍ර. ඔක්සිජන් වායුව (=oxygen).

අම්ලපාෂාණ

(පාරිභා.) නා.ප්‍ර. සිලිකා 66% කට වඩා අඩංගු ආග්නේය පාෂාණ (=acid rocks).

අම්ලය

1. නා. ඇඹුල; ඇඹුල් රසය.
2. නා. ඇඹුල් රසය ප්‍රධාන ලක්ෂණය කොට ඇති රසායනික ද්‍රව්‍ය සමූහයක් (=acid); විනාකිරි.

අමා

1. වි. මරණයක් නැති; මරණ රහිත; අමරණීය.
2. වි. දිව්‍යමය; අමෘතමය; ඉතා ප්‍රණීත; අතිශයින් මිහිරි; අමෘතය සේ සුව දෙන.
1. නා.ප්‍ර. අමාවක; අමාවක තිථිය.
2. නා.ප්‍ර. දෙවියන්ගේ ආහාර; අමෘත; සුධාභෝජන.

අමාඇදුරු

නා.ප්‍ර. අමෘතයට හෙවත් නිවනට මඟ පෙන්වන ආචාර්යවරයා; බුදුරජාණන් වහන්සේ.

අමාකර

1. නා.ප්‍ර. අමෘත රශ්මි ඇත්තා; චන්ද්‍රයා.
2. නා.ප්‍ර. අමෘතයාගේ උත්පත්ති ස්ථානය; කිරිමුහුද.

අමාකරු

නා.ප්‍ර. නිර්වාණය අවබෝධ කරවන තැනැත්තා; බුදුරජාණන් වහන්සේ.

අමාකැන්

නා.ප්‍ර. අමෘත කාන්ති ඇත්තා; හඳ; චන්ද්‍රයා.

අමාත්සර්ය

1. වි. මසුරු නැති.
2. වි. ඊර්ෂ්‍යා නැති.

අමාත්‍යයා

නා. පැරණි රජදරුවන්ගේ පාලන සමයෙහි කාර්යාංශයක් භාරව සිටි තැනැත්තා; රජයේ කාර්යාංශයක් භාර ව සිටින තැනැත්තා; ඇමතිවරයා.

අමාත්‍යාංශය

[අමාත්‍ය + අංශය]
නා. අමාත්‍යවරයකුට බාර වූ රජයේ කාර්යාංශය.

අමාත්‍ර

වි. ප්‍රමාණ රහිත; අපරිමාණ.

අමාත්‍රඥ

වි. පමණ නොදන්නා වූ; භෝජනයෙහි ප්‍රමාණය නොදන්නා වූ.

අමානුෂික

වි. මිනිස් නොවන; අමනුෂ්‍ය.

අමාපල

1. නා. අමෘතය තරම් මධුර වූ ඵලය; අමෘතය නම් ඵලය.
2. නා. අරළු.

අමාපුරය

නා. මරණයක් නැති පුරය; නිවන.

අමාමක

වි. මමත්වයෙන් තොර; මාගේ යැයි නොසිතන.

අමායා

වි. මායා නැති; වංචා රහිත.
නා. අමාරුකාර පුද්ගලයා; කපටියා.

අමාර්ගය

1. නා. වැරදි මග; නොමඟ.
2. නා. වැරදි ක්‍රියා පටිපාටිය; දුරාචාරය.

අමාරැස්

නා.ප්‍ර. චන්ද්‍ර රශ්මිය; සඳරැස්.