සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 153

අමරගුරු

නා.ප්‍ර. බෘහස්පති දේවතාවා; සුරගුරු.

අමරඟන

[අමර + අඟන]
නා. දිව්‍ය ස්ත්‍රිය; දිව්‍යාංගනාව; සුරඟන; අමරාඞ්ගනාව.

අමරණීය

වි. නොමැරෙන.

අමරතුරු

නා.ප්‍ර. කල්පවෘක්ෂය; සුරතුර; කප්රුක.

අමරදද

නා.ප්‍ර. අනංගයා; අමරධ්වජයා.

අමරසර

නා. දෙවඟන; දිව්‍ය අප්සරාව.

අමර්ෂය

නා. නොඉවසිල්ල; කෝපය; කේන්තිය.

අමරාලය

[අමර + ආලය]
නා.ප්‍ර. දෙවියන්ගේ වාසසස්ථානය; දිව්‍යලෝකය; ස්වර්ගය.

අමල

වි. මල රහිත; නිර්මල; පිරිසිදු.
1. නා.ප්‍ර. දෑවාණ; පළිඟු; ස්ඵටික.
2. නා.ප්‍ර. මිනිරන්.
3. නා.ප්‍ර. නෙල්ලි ගස.
4. (කථා.) නා.ප්‍ර. කළුනික.

අමලින

වි. කිලිටි නොවූ; පිරිසිදු.

අමළිය

1. (කථා.) නා. අධිකකම; බහුලත්වය. ·
2. හදිසිය.

අම්බර

1. නා.ප්‍ර. අහස; ආකාශය.
2. නා.ප්‍ර. ඇඳුම; වස්ත්‍රය.
3. (ජ්‍යෝති.) නා.ප්‍ර. කේන්ද්‍රයක දසවැනි ස්ථානය.
4. නා.ප්‍ර. තල්මසුන්ගේ බඩෙහි හටගැනෙන ඉටි වැනි සුවඳ ද්‍රව්‍යය.
5. නා.ප්‍ර. අමූලික බොරුව.

අම්බරුවා

1. නා. (කමත්.) ගවයා; මීමා.
2. නා. තිත්මුවා; ගෝනා.

අම්බලම

(කථා.) නා. මගීන්ගේ ප්‍රයෝජනය සඳහා මහා මාර්ගය අසල කරවන ලද විශ්‍රාම ශාලාව; ගිමන්හල.

අම්බලම් පාළුවා

(කථා.) නා. අම්බලම් වැනි පාළු ගෙවල යට ලී පරාල ආදිය සිදුරු කොට බෙන සාදාගන්නා කුරුමිණි විශේෂයක්.

අම්බා(ව)

1. නා. මව.
2. නා. ස්ත්‍රිය.
3. නා. අඹුව; භාර්යාව.
4. නා. කරදරය; හිරිහැරය.
5. නා. බොරුව.
6. නා. වෙහෙස මගහරවා ගැනීමට කියන සාමුහික කවිය; රුකුල් කවිය.

අම්බැට්ටයා

1. නා. දැළිරැවුල් කපන්නා; කරනැවෑමියා.
2. නා. (නීච) සහායකයා.

අම්බිකාව

1. නා. මව.
2. නා. ස්ත්‍රිය.
3. නා. අඹුව; භාර්යාව.

අම්බිලිය

1. නා. ඇඹුල් රසය; අම්ලය.
2. නා. ඇඹුල් රස ඇති දෙය.

අම්බු

1. නා.ප්‍ර. දිය; ජලය.
2. (ජ්‍යෝති.) නා.ප්‍ර. කේන්ද්‍රයක සිවුවැනි ස්ථානය; සතරවැන්න.
3. (ජ්‍යෝති.) නා.ප්‍ර. පුවසළ නම් නැකත.

අම්බුජ

වි. ජලයෙහි උපන්; ජලජ.
නා. නෙළුම්මල; පද්මය.

අම්බුද

වි. ජලය දෙන.
1. නා.ප්‍ර. වලාකුළ; මේඝය.
2. නා.ප්‍ර. කලාඳුරු.

අම්බුධිය

1. නා. ජල සම්භාරය; සාගරය.
2. නා. මුහුදු ලුණු.
3. නා. සතර; සිවුවැන්න.

අම්බුනිධිය

1. නා. ජල නිධිය; සාගරය.
2. (ජ්‍යෝති.) නා. සියාවස නම් නැකත.