සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1595

වේමානික පේත

වි. කලක් දුක් විඳ පසු ව සැප විඳින ප්‍රේතයා.

වේයා

නා. රතු හිසක් හා සුදු කඳක් ඇති, සංඛ්‍යාව අතින් විශාලතම කුහුඹු වර්ගයක් ; වෙහෙයා.

වේර

1. නා.ප්‍ර. වෛරය.
2. වෙහෙර.

වේරක

නා.ප්‍ර. කපුරු.

වේරජා

නා. වේ තුඹසේ යට අඩියේ සිටින ලොකු වේයා ; වේයන්ගේ රජා.

වේරමණි සීලය

නා. පස්පවින් වෙන් වීම හා සම්බන්ධ පොරොන්දුව.

වේරමණිය

නා. වැළකී සිටීම ; විරමණය.

වේරම්බ වාතය

1. නා. අහසේ යොදුනක් ඉහළින් පවතිමින් අසුවන ඕනෑම දෙයක් විනාශ කරතැයි විශ්වාස කරනු ලබන සුළඟ ; වෙරඹුවා.
2. සියලු සක්වළ උසුලා සිටිතැයි විශ්වාස කරනු ලබන වාතස්කන්ධය ; වා පොළොව.

වේල

1. නා. දවසේ එක් එක් කෑම වාරය ; ආහාර වේල.
2. කාල සීමාව ; වාරය.
3. වේලාව ; කාලය ; අවස්ථාව.

වේලංගයා

නා. සිඟන්නා ; යාචකයා ; දුගියා.

වේලක්කාර

නා.ප්‍ර. පොළොන්නරු රාජ්‍ය සමයේදී සිටි ද්‍රවිඩ කුලී භට පිරිස.

වේලපත්කඩය

නා. උපන් වේලාව මත සාදනු ලබන කෙටි ජ්‍යෝතිෂ විස්තරය ; ලුහුඬු ජන්ම පත්‍රය.

වේලපහ

ක්‍රි.වි. කල්වේලා ඇතිව ; වේලාසනින් ; නියම වේලාවට කලින්.

වේලය

නා. කතරගම දෙවියන්ගේ ආයුධය ; ත්‍රිශූලය.

වේලහනින්

(කථා.) ක්‍රි.වි. කල්වේලා ඇතිව.

වේල්

1. නා.ප්‍ර. හින්දු බැතිමතුන් විසින් පවත්වනු ලබන ආගමික උත්සවයක් ; වේල් උත්සවය.
2. සාරිය, මංගල ඇඳුම කොටගත් මනාළියකගේ හිස වැසෙන සේ යොදා ගන්නා නෙට් රෙද්දෙන් සකස් කළ වැස්මක්.
3. මුව විශේෂයක්.
4. (කථා.) කල්දේරම.
වි. බුරුල් ; ලිහිල්.

වේල් පිරිත

(කථා.) නා. උදේ, සවස සහ ඊළඟ දින උදේ හවස වරු තුනේ සජ්ඣායනය කරනු ලබන පිරිත ; වරු පිරිත.

වේල් මූඩිය

(කථා.) නා. කල්දේරම වහන පියන.

වේල්ල

1. නා. ජල මාර්ග අවහිර කොට, ජලය රැස් කොට තබා ගැනීමට හෝ වෙනතකට හරවා යැවීමට හෝ බඳින බැම්ම ; වැටිය.
2. උස් බිම් කැපීමේදී ඇති වන බෑවුම.

වේලා කොළය

(කථා.) නා. වේලාපත්කඩය.

වේලා තටය

නා. ඉවුරු බිම ; වෙරළ.

වේලා දාහය

(පාරිභා.) නා. විදුරුමසේ උඩ සිවිය පිලිස්සී යාම.

වේලාන්තය

[වේලා + අන්තය]
නා. ඉවුර ; වෙරළේ කොන ; වෙරළාන්තය.