සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1601

වෛවාරන්න

වි. නොයෙක් ආකාරයේ ; විවිධ මෝස්තර සහිත.

වෛවාහ මංගල්‍යය

නා. පුරුෂයකුට ස්ත්‍රියක් සරණ පාවාදීමේ උළෙල.

වෛවාහික

1. වි. විවාහය හා සම්බන්ධ ; සරණ බැඳුමට අයත්.
2. විවාහයට යෝග්‍ය.
3. විවාහයට සැරසුණු.

වෛවාහිකය

(පාරිභා.) නා. ප්‍රශස්ත රජ්ජුව ; කන්‍යා රජ්ජුව ; කුමාරිච්ඡදය ; කාලිකා සිවිය.

වෛවිධ්‍යය

නා. නා නා ආකාරය ; නොයෙක් විදිය ; විවිධත්වය.

වෛශද්‍ය

1. වි. සුදු ; සුභ වර්ණ.
2. පවිත්‍ර ; පිරිසිදු.

වෛශද්‍යය

නා. පැහැදිලි බව ; විශද බව.

වෛශ්‍ය

නා.ප්‍ර. පුරාණ දඹදිව පැවති කුල හතර (චතුර් වර්ණ) අතරින් වෙළඳ කුලය.

වෛශ්‍යයා

නා. කුලයෙහි උපන් තැනැත්තා.

වෛශ්‍යාව

නා. ගණිකාව ; වෙසගන.

වෛශ්‍රවණ

1. නා. යක්ෂාධිපති රජ ; වෙසමුනි රජු.
2. සතරවරම් දෙවිවරුන් අතරින් උතුරු දෙසට අධිපති දෙව්රජ.

වෛශාඛ

නා.ප්‍ර. විසා නැකත යෙදෙන සමය ; චන්ද්‍ර මාස දොළහෙන් එකක් වන වෙසක් මාසය.

වෛශාඛ පුණෝත්සවය

නා. වෙසක් දින පැවැත්වෙන උත්සවය ; බුදු තෙමගුල සැමරීමට වෙසක් මස පුර පසළොස්වක දින පවත්වන උත්සවය.

වෛශාඛ පෞර්ණමිය

නා. වෙසක් පුන් පොහෝ දිනය ; වෙසක් පසළොස්වක දිනය.

වෛශාරද්‍ය

වි. ශිල්ප, ශාස්ත්‍ර විෂයෙහි පුළුල් දැනුමක් ඇති ; විශාරද වූ ; වියත්.

වෛශාරද්‍ය ඥානය

නා. විශාරදභාවය පිළිබඳ නුවණ ; චතුර් වෛශාරද්‍ය ඥානය ; සතර තැනෙක ස්වකීය විශාරදබව මෙනෙහි කිරීමෙන් බුදුරජුනට ඇති වූ සොම්නස් සහගත නුවණ.

වෛශාරද්‍යය

නා. පුළුල් දැනුමක් ඇති බව ; විශාරද බව ; වියත්බව.

වෛශාල්‍ය

වි. විශාල වූ ; මහත් වූ ; ලොකු.

වෛශාල්‍යය

නා. විශාලත්වය ; මහත් බව ; පැතුරුණු බව.

වෛශිෂ්ට

වි. උසස් ; උතුම් ; විශේෂ වූ ; ශ්‍රේෂ්ඨ වූ.

වෛශේෂය

නා. වෙසෙස්බව ; විශේෂත්වය ; පොදු නොවන බව.

වෛශේෂ්‍යය

නා. විශේෂතාව ; විශිෂ්ටත්වය.

වෛෂයික

1. වි. විෂයයකට අයත් ; ගෝචර ස්වභාවය ඇති.
2. (පාරිභා.) ක්‍රියාව, සිතිවිල්ල හෝ වින්දනයට සම්බන්ධ වස්තුවකට අයත් වූ.

වෛෂ්ණව

නා.ප්‍ර. භාරතීය ආගම් අතරින් විෂ්ණු දෙවියා ප්‍රධාන කොටගත් ආගම ; පංචවිධ හින්දු ආගමික සම්ප්‍රදායවලින් එකක්.