සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 161

අරක්වළ

නා. ආරක්ෂා ද්‍රව්‍ය තැබීම සඳහා කමතක් මැද හාරන කුඩා වළ.

අරගලය

නා. දබරය; ආරවුල; කෝලාහලය.

අරඤ්ඤ

නා. ආරණ්‍යය; වනය.

අරඤ්ඤායතනය

නා. භික්ෂූන් සඳහා අරණ්‍යයෙහි වූ ආයතනය; වනවාසී භික්ෂු ගණය.

අරටුව

නා. සාරය; ගසක කඳේ මේරූ මැද කොටස; හරය.

අරණ

නා.ප්‍ර. ආරණ්‍යය; වනය.

අරණ්‍ය

නා. වනය; කැලෑව.

අරණ්‍යවාසියා

නා. ආරණ්‍යයෙහි වසන්නා; වනවාසියා.

අරණි කාෂ්ඨය

නා. ගිනිගෑම පිණිස ගන්නා දඬුව; ගිනි ගානා දණ්ඩ.

අරණි මථනය

නා. ගිනි ගානා දඬු එකට ගැටීම; ගිනි නැංවීම පිණිස ලී දඬු දෙකක් එකට මැදීම.

අරතර

1. වි. අරටුවෙන් තර වූ; හර සහිත වූ.
2. වි. ඉතා දැඩි; දෘඪතර; ස්ථිරතර.
3. වි. උතුම් වූ; බලවත් වූ.

අරතිය

නා. නොඇල්ම; අරුචිය; පිළිකුල; කලකිරීම.

අරනවා

1. ක්‍රි. නගිනවා; ආරෝහණය කරනවා.
2. ක්‍රි. සිද්ධ වෙනවා; පිහිටනවා.
3. ක්‍රි. (අත් ආදිය) ඔසවනවා.

අරන්ධ්‍ර

වි. පැල්මක් නැති; සිදුරු නැති.

අරපරිස්සම

නා. සුරක්ෂිත භාවය; ආරක්ෂාව; සකසුරුවම්කම; පරෙස්සම.

අරපිරිමැස්ම

(කථා.) නා. අඩු වියදමෙන් කටයුතු කර ගැනීම; සකසුරුවම.

අරබයා

නි. (පටන්ගෙන යනු වාච්‍යාර්ථයි) උදෙසා; නිසා; ගැන; මුල් කොට; සඳහා.

අරම

නා. භික්ෂූන් හෝ තාපසයන් හෝ වසන තැන; ආරාමය.

අරමිණිය

නා. දෙපා නමා බැඳ හිඳීම; පර්යඞ්කය.

අරමුණ

1. නා. (අභි.) සිත ක්‍රියා කරවීමට පදනම් වන දෙය; සිතට ගෝචර වන දෙය; චක්ෂුරාදි ඉන්ද්‍රිය වෙත ගෝචර වන රූපාදිය.
2. (අභි.) නා. අදහස; අභිප්‍රාය; ඉලක්කය.
3. නා. උවමනාව; අවශ්‍යතාව.

අරමුදල

1. නා. රාජකීය ධනය තැන්පත් කොට තබන ස්ථානය; භාණ්ඩාගාරය.
2. නා. රක්ෂිත මුදල; තැන්පත් මුදල; ව්‍යාපාරයක යොදන මුල් මුදල.

අරඹනවා

ක්‍රි. පටන් ගන්නවා; ආරම්භ කරනවා.

අරය

1. නා. රෝදයක ගරාදිය; රිය සකක දැවිය.
2. (පාරිභා.) නා. වෘත්තයක කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා අඳින ලද සරල රේඛාව; අර්ධ විෂ්කම්භය.
3. නා. අරටුව; සාරය.