සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1622

ශාක්‍යමුනි

නා.ප්‍ර. ශාක්‍යවංශයෙහි උපන් මුනිවරයා වන ගෞතම බුදුරජාණන් වහන්සේ.

ශාකාගාරය

(පාරිභා.) නා. ශාකවර්ග වවන වීදුරුගෙය.

ශාකාණුව

(පාරිභා.) නා. බැක්ටීරියා නම් ක්ෂුද්‍ර ජීවය ; ජීවාණු කොටසක්.

ශාඛනය

(පාරිභා.) නා. ශාඛා බවට පත්වීම ; අතු බෙදී යාම.

ශාඛා

1. නා.ප්‍ර. ගසක ප්‍රධාන කඳෙන් බෙදී ගිය අතු.
2. ප්‍රධාන ස්ථානය මගින් බෙදීගිය අනුකොටස්.
3. ප්‍රධාන ආයතන මගින් බෙදීගිය උප ඒකක.

ශාඛා බන්ධු

නා.ප්‍ර. පවුලට සමීප නෑදෑ අය ; සහෝදර සහෝදරියන් සහ ඔවුන්ගේ දරු පරපුර.

ශාඛා මණ්ඩපය

නා. අතු සෙවෙනි කළ මඩුව.

ශාඛා වර්තනිය

(පාරිභා.) නා. ප්‍රවාහ මාර්ගය.

ශාඛාපතර

නා.ප්‍ර. අතු සහ කොළ ; ශාඛා සහ ඝනව වැඩුණු කොළ සමූහය.

ශාඛාබද්ධය

නා. එක් ශාකයක අත්තක් වෙනත් වැඩුණු ශාඛයකට සම්බන්ධ කොට කරනු ලබන කෘතිම ප්‍රචාරණය ; අංකුරබද්ධය.

ශාඛාමෘග

නා.ප්‍ර. අතු අතට සිටින මෘගයා වන වඳුරා ; වානරයා.

ශාඛාලක්ෂ්‍යය

(පාරිභා.) නා. ශාඛාව පිහිටි ස්ථානය ; අත්තක ඉම.

ශාඛීක ජලවහනය

(පාරිභා.) නා. ගසක අතු විහිදී යන ආකාරයෙන් භූමි භාගයක් මත ජලය ගලාබැසීමේ ක්‍රමය.

ශාඛීය

(පාරිභා.) වි. අතු බෙදුණු ; අතුමෙන් විහිදී ගිය.

ශාටකය

1. නා. සළුව ; වස්ත්‍රය.
2. ගොළුබෙල්ලාගේ පිටකටුවට ඇතුළත වූ බාහිර මාංශ පටලය.

ශාටිකාව

නා. සළුව ; වස්ත්‍රය.

ශාඨ්‍යය

නා. ශඨබව ; කපටිකම.

ශාණ

1. නා.ප්‍ර.හණ.
2. හණ වැහැරියෙන් කළ වස්ත්‍රය.

ශාත

වි. ප්‍රිය ; ප්‍රසන්න ; රම්‍ය ; මනෝඥ.
නා.ප්‍ර. රන් ; රත්රන්; ස්වර්ණ.

ශාද

නා.ප්‍ර. තණ ; තෘණ.

ශාද්වල

වි. ළා තණින් වැසුණු ; වන තෘණයෙන් ගැවසුණු.

ශාන්ත

1. වි. සන්සුන් ; තැන්පත් ; නිශ්චල ; සංවර.
2. (රෝ.ක.) ශුද්ධ වූ ; ශුද්ධවත්.
නා.ප්‍ර. කාව්‍යයෙහි සඳහන් රසයක නාමය ; ශාන්ත රසය.

ශාන්ත දාන්ත

වි. සන්සුන් ගතියෙන් යුත්.

ශාන්ත පදය

නා. ශාන්තිය ගෙනදෙන ස්ථානය ; නිවන ; නිර්වාණය.