සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 169

අල්ගේ

1. නා.ප්‍ර. අළුව හෙවත් රෙදි වියන යන්ත්‍රය පිහිටි මඩුව.
2. නා.ප්‍ර. රෙදි වියන යන්ත්‍රය.

අල්ට්‍රාවයලට්

(පාරිභා.) නා.ප්‍ර. පාරජම්බූල; පායා එන හිරුගේ රශ්මිය(=ultra violet).

අල්තාරය

1. නා. (ක්‍රිස්ති.) පූජාසනය; පූජා පීඨය.
2. නා. වාහල්කඩ.

අල්ප

වි. මඳ; ටික; ස්වල්ප; කුඩා; සුළු.

අල්ප බුද්ධිය

නා. මන්ද බුද්ධිය.

අල්පඥයා

නා. මඳ නුවණ ඇත්තා; මෝඩයා.

අල්පතාක්කය

(කථා.) නා. ගෙයක පිටිපස ඉස්තෝප්පුව.

අල්පප්‍රාණ

නා.ප්‍ර. (ව්‍යාක.) උච්චාරණ ප්‍රයත්නයේ දී ප්‍රාණවායුව අල්පව යොදා ශබ්ද කළ හැකි අක්ෂර; මහාප්‍රාණ නොවන අකුරු.

අල්පභක්ෂ

වි. කෑම හිඟ; ආහාර නැති.

අල්පමාත්‍ර

වි. ස්වල්ප ප්‍රමාණ වූ; ඉතා මඳ; සුළු.

අල්පශ්‍රැතයා

නා. ඇසූ පිරූ තැන් නැත්තා; බහුශ්‍රැත නොවන්නා; නූගතා.

අල්පාබාධ

[අල්ප + ආබාධ]
වි. ලෙඩ අඩු; රෝගාබාධවලින් බෙහෙවින් තොර.

අල්පායු

[අල්ප + ආයු]
නා.ප්‍ර. ස්වල්ප වූ ආයුෂ ප්‍රමාණය; කෙටි ජීවිත කාලය.

අල්පාහාරික

[අල්ප + ආහාරික]
වි. ස්වල්ප වශයෙන් ආහාර අනුභව කරන; ප්‍රමාණය සලකා අනුභව කරන.

අල්පීභූත

වි. කුඩා වූ; ඉතා සුළු.

අල්පේච්ඡයා

[අල්ප + ඉච්ඡයා]
නා. ස්වල්ප වූ ඉච්ඡා ඇත්තා; ලද දෙයින් සතුටු වන්නා.

අල්පේච්ඡාව

නා. ස්වල්ප වූ ඉච්ඡා ඇති බව; ලද දෙයින් සතුටු වන බව.

අල්පේශාඛ්‍ය

[අල්ප + ඊශ + අඛ්‍ය]
වි. අල්ප වූ යශස් ඇති; ස්වල්ප අනුභාව ඇති; බලයෙන් අඩු.

අල්පෝත්සාහ

වි. ස්වල්ප වූ උත්සාහයෙන් යුත්; මඳ වීර්යය ඇති; මන්දෝත්සාහී.

අල්පෝදක

[අල්ප + උදක]
වි. ජලය හිඟ; නිරුදක.

අල්බය

නා. දිව්‍ය පූජාවට සූදානම් වන පූජා ප්‍රසාදිතුමා අඳින දීර්ඝ ධවල වස්ත්‍රය.

අල්මුසුව

නා. උදේ කෑම; උදය භෝජනය; පාතරාසය.

අල්ල

1. නා. අතෙහි ඇතුළු පැත්ත.
2. නා. අහුර; ස්වල්පය.
3. නා. අඳුන්.
4. නා. කුඹලාගේ මැටි පත්ත.
වි. තෙමුණු; තෙත.

අල්ලනවා

1. ක්‍රි. අත තබනවා; ස්පර්ශ කරනවා; අල්ල ගන්නවා.
2. ක්‍රි. දැඩි ලෙස ග්‍රහණය කරනවා; බැඳ ගන්නවා; අලවනවා; සවි කරනවා; සම්බන්ධ කරනවා.
3. ක්‍රි. ඇතුළත් වෙනවා; අඩංගු වෙනවා.
4. ක්‍රි. ඇලෙනවා; බැඳී තද වී සිටිනවා.
5.ක්‍රි. ආරම්භ කරනවා; පටන් ගන්නවා.
6. ක්‍රි. (ලෙඩක්) වැලඳ ගන්නවා.
7. ක්‍රි. හපනවා; කනවා.