සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1700

සන්නිරක්ෂණය

නා. ඉතා පරෙස්සමෙන් කරන නිරීක්ෂණය ; සුපරීක්ෂා කිරීම ; ආපසු සොයා බැලීම.

සන්නිවාසය

නා. එක්ව වාසය කිරීම ; එක්ව විසීම.

සන්නිවේදනය

නා. ප්‍රකාශනය ; පුළුල්ව නිවේදනය කිරීම ; අදහස්, හැඟීම්, ආරංචි ආදිය දැනුම් දීම ; පතුරුවා හැරීම.

සන්නිවේශය

නා. මැනවින් පිහිටුවීම ; පිළියෙල වීම.

සන්නිශ්‍රය

නා.ප්‍ර. ඇසුරු කිරීම ; ආශ්‍රය ; එක්වීම.

සන්නිහිත

වි. මනාකොට තැබූ ; මැනවින් පිහිටුවන ලද.

සන්මාර්ගය

නා. යහපත් මඟ ; සුමග.

සන්සන්දනය

නා. සමාන අසමානකම් සසඳා බැලීම ; සැසඳීම.

සන්සල

වි. චංචල ; සෙලවෙන ; සැලෙන.

සන්සුන්

වි. කලබල රහිත ; සාන්තදාන්ත ; නිවුණු.

සන්‍යය

නා. අර්ථ විවරණය.

සන්‍යාසය

1. නා. ගිහිගෙය හැර තපසට යාම.
2. අධික රුධිර පීඩනය නිසා හටගන්නා සිහි නැතිවීමේ රෝගය.

සනා

නා.ප්‍ර. ස්නේහය ; ආදරය.
වි. ස්නානය කරන.

සනාතන

වි. සදාකාලික ; නොනැසී පවතින ; නොවෙනස්ව පවතින.

සනාතන සභාව

නා. විශ්වවිද්‍යාලයක අධ්‍යයන කටයුතු හා පරිපාලනය භාර මණ්ඩලය.

සනාථ

1. වි. පිහිට සහිත ආරක්ෂා සහිත.
2. ඔප්පු කළ හැකි ; සාක්ෂ්‍ය සහිත ; ඔප්පු කළ.

සනාල

(පාරිභා.) වි. නාල සහිත ; ධමනි පිළිබඳ.

සනාල කලාපය

(පාරිභා.) නා. ශාක දේහයක තිබෙන ද්‍රව එහා මෙහා ගෙන යන ශෛලවාහිනී පද්ධතිය.

සනාල ගුප්ත යෝගිය

(පාරිභා.) නා. පුරුෂ කේශර හෝ ස්ත්‍රී කේශර නැති බැවින් නියම පුෂ්ප හටනොගන්නා ශාකය.

සනාල ශාක

(පාරිභා.) නා.බහු. බීජ ශාක හා පර්ණාංග.

සනාලික

(පාරිභා.) වි. දික් අතට කාණුවක් වැටුණු.

සනාව

නා. සෙනෙහස ; ස්නේහය.

සනිටුහන

නා. ස්ථිර අධිෂ්ඨානය ; ඉටා ගැනීම ; තීරණය ; නිශ්චය.

සනීපය

නා. ලෙඩදුක්වලින් තොර බව ; නිරෝගී බව.