සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 174

අවච්ඡේදය

නා. කපා දැමීම; සිඳ දැමීම.

අවජ්ජ

නා.ප්‍ර. වරද; දෝෂය.

අවජාත

1. වි. ගුණයෙන් මව්පියන්ට වඩා පහත් ගති ඇති ව උපන්.
2. වි. නීත්‍යනුකූල කසාදයකින් තොර ව උපන්.

අවජුන්

නා.ප්‍ර. සිහි කිරීම; සිතා බැලීම.

අවඥාත

වි. අවමන් කරන ලද; හෙළා දකින ලද.

අවඥාව

නා. අවමානය; හෙළා දැකීම.

අවට

වි. හාත්පස පිහිටි; වටේට ඇති.
1. නා.ප්‍ර. වටේට ඇති ප්‍රදේශය; හාත්පස ප්‍රදේශය.
2. නා.ප්‍ර. වට ප්‍රමාණය; පරිධිය.
3. නා.ප්‍ර. ලියගොමුව.

අවතංසකය

නා. මුදුන්මල්කඩ; ඔටුන්න; සිළුමිණ.

අවතංසය

1. නා. මල්දම; මල්මාලාව.
2. නා. කුණ්ඩලාභරණය. මුදුන්මල්කඩ; ඔටුන්න.

අවතරණය

1. නා. බැසීම; ගොඩබැසීම; සමුද්‍රයෙන් එතෙරවීම.
2. (පාරිභා.) නා. පරිණත වීමේ විභාජනවල දී සමප්‍රභව වර්ණදේහ යුගල අතර සිදු වන අන්‍යෝන්‍ය හුවමාරුව (=crossing-over).

අවතල

(පාරිභා.) වි. යටට නෙරාගිය; බොකු ගැසුණු.

අවතල කාචය

(පාරිභා.) නා. යටට නෙරාගිය හෙවත් බොකු ගැසුණු කාචය (=concave lens).

අවතල බෑවුම

(පාරිභා.) නා. යටට නෙරා ගිය හෙවත් බොකු ගැසුණු බෑවුම (=concave slope).

අවතල භඞ්ගය

(පාරිභා.) නා. හිස්කබල යටට නෙරා යන සේ නැතහොත් වළ ගැසෙන සේ බිඳී යෑම (=depressed fracture).

අවත්තය

නා. (ක්‍රිස්ති.) අවසාන සක්‍රමේන්තුව (=last sacrament).

අවත්ථරණය

1. නා. පැතිරීම; පැතිරවීම.
2. නා. යටපත් කිරීම; මැඩපැවැත්වීම.

අවත්ථාන

නා.ප්‍ර. දැඩි අධිෂ්ඨානය; මුහුකුරා ගිය අධිෂ්ඨානය.

අවතායම

නා. ප්‍රයෝගය; වංචාව.

අවතාරය

1. නා. බැසීම; ගොඩබැසීම; සම්ප්‍රාප්තිය.
2. නා. දෙවියකු අන් අයුරකින් පහළ වීම.
3. නා. හොල්මන; භූත වේශය.
4. නා. ප්‍රස්තාවනාව; ප්‍රවේශය.
5. නා. වේශය; රූපය; විලාසය.
6. නා. සිදුර.
7. නා. ඉඩ ප්‍රස්තාව; අවකාශය.

අවතාරිකා

නා.ප්‍ර. ප්‍රස්තාවනාව; ප්‍රාරම්භය.

අවතැන්

වි. උන්හිටි තැන් අහිමි වූ; වාසස්ථාන අහිමි වූ.

අවතීර්ණ

1. වි. බැසගත්; බට; පිළිපන්.
2. වි. එළඹ සිටි; පැන නැගුණු.
3. වි. එතෙර වූ.

අවදනවා

ක්‍රි. සිත නමනවා; යොමු කරනවා; සිතා බලනවා; විමසා බලනවා.

අවද්‍ය

1. වි. දෝෂ සහිත; වැරදි ඇති.
2. වි. පහත්; නීච.
1. නා.ප්‍ර. වැරැද්ද.
2. නා.ප්‍ර. වැරදි නොවූව; නිවැරදි වූව.