සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1801

සැසිවාරය

නා. රැස්වීම් වාරය ; රැස්වීම හෝ නඩුවක් පවත්වන වාරය.

සැහැ

වි. ශාක්‍ය වංශික ; ශාක්‍ය වංශයට අයත්.
1. පූර්ව.ක්‍රි. ඉවසා ; විඳදරා.
2. සීසෑම කොට ; සීසා.

සැහැත්

වි. උත්සාහවත් ; වීර්යවන්ත.

සැහැන්

නා.ප්‍ර. සවස ; සන්ධ්‍යාව ; හවස.

සැහැල්ල

නා.ප්‍ර. සිංහල පද්‍ය වෘත්ත විශේෂයක් ; ගීපද දෙපද කවි හා සිවුපද මිශ්‍රකොට රචනා කරන ලද පද්‍ය විශේෂය.

සැහැල්ලි

නා.ප්‍ර. එකට එක කිරීම ; පළි ගැනීම.

සැහැල්ලු

1. වි. බර නැති ; බර අඩු ; චාම්.
2. ශීඝ්‍ර ; ඉක්මන්.
3. පහසු ; ලේසි.

සැහැල්ලුව

1. නා. බර නැතිබව.
2. හෑල්ලුව ; පහත් කොට කතා කිරීම ; බාල්දු කිරීම.
3. (විශේෂයෙන් බෞද්ධ වන්දනාකරුවන්) කරේ දමාගෙන යන බඩු පොදිය ; ඔලොගුව.
4. බඩ යෑම ; පාචනය වීම ; බඩ විරේක වීම.

සැහැවි

වි. ස්වභාවය ඇති ; ස්වභාවයෙන් යුතු.
1. නා.ප්‍ර. ස්වභාවය.
2. ශ්‍රාවිකාව ; ශ්‍රාවකවරිය.

සැහැසි

වි. සාහසික ; දරුණු ; දාමරික ; හිංසා සහගත.

සැහැසී

නා.ප්‍ර. ශාක්‍ය සිංහයා ; බුදුන් වහන්සේ.

සැහිරියාව

නා. සුහුරුකම ; සම්ප්‍රදායය.

සැහී

පූර්ව.ක්‍රි. සාහසික වී ; දරුණු වී.

සැළ

1. නා.ප්‍ර. කපටිබව ; කෛරාටික බව.
2. වංචාව ; රැවටීම.
3. සැළිය ; මුට්ටිය.
වි. ප්‍රකට ; ප්‍රසිද්ධ.

සැළ මුතු

වි. වංචාවෙන් තොර ; කෛරාටික නොවූ ; කපටි බවෙන් මිදුණු.

සෑ

1. නා.ප්‍ර. සෑය ; චේතිය.
2. චිතකය.
3. ශ්වේත.
4. ශාක්‍ය.
5. ඊයම්.
6. සැවැන්දරා.
පූර්ව.ක්‍රි. හාන ලද.

සෑගණ

නා.ප්‍ර. චෛත්‍ය අංගණය ; චෛත්‍ය මාලකය ; දාගැබ් මළුව ; සෑය වටා ඇති එළිමහන් ප්‍රදේශය.

සෑදලය

නා. අශ්වයකු පිට වාඩි වීම සඳහා යොදන සම්වලින් සෑදූ මෙට්ටය ; ඇතිරිල්ල ; අශ්ව ආස්තරණය.

සෑනා

නා.ප්‍ර. බළලා ; පූසා.

සෑමුනි

නා. ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ ; බුදුන් වහන්සේ.

සෑය

1. නා.ප්‍ර. සෑ බුදු, පසේ බුදු, මහරහත්, සක්විති රජ යන උතුමන්ගේ ශාරීරික ධාතු තැන්පත් කොට තැනූ චෛත්‍යය.
2. දර සෑය ; චිතකය.

සෑසී

නා.ප්‍ර. ශාක්‍යසිංහ වූ බුදුරජාණන් වහන්සේ.

සෑහෙන

1. වි. ප්‍රමාණවත් වන ; අවශ්‍ය තරම්.
2. සුදුසු.

සි

1. නා.ප්‍ර. සිනාව; සිනාසීම.
2. සිහිය ; සතිය.
3. සිංහයා.