සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1837

සුප්‍රභාත

වි. ඉතා දීප්තිමත් ; බොහෝ සේ ආලෝකවත්.
නා.ප්‍ර. දීප්තිමත් උදෑසන ; සුන්දර වූ උදය කාලය.

සුප්‍රසාරිත

වි. මනා ව විදහා තබන ලද ; ඉතා හොඳින් ප්‍රසාරණය කළ.

සුප්‍රසිද්ධ

වි. ඉතා ප්‍රකට ; අති ප්‍රකට.

සුප්‍රාරීනල් ග්‍රන්ථි

නා.බහු. වකුගඩු මත පිහිටා තිබෙන නාල රහිත කහපාටට හුරු ත්‍රිකෝණාකාර කුඩා ග්‍රන්ථි දෙකක්.

සුපායිත

1. වි. හොඳින් පණ පෙවූ ; මනා ලෙස පණ ගන්වන ලද.
2. මනා සේ පොවන ලද.

සුපාරි

(කථා.) වි. 1. දුර්වල ; ඔබලත්.
2. කම්මැලි ; අලස.

සුපින

නා.ප්‍ර. සිහිනය ; හීනය.

සුපිනිදු

නා.ප්‍ර. නින්ද ; නිදාගැනීම.

සුපිපි

වි. මනා ලෙස පිපුණු ; මනා ව විකසිත වූ.

සුපිරි

නා.ප්‍ර. වඩාත් ශුද්ධ කරන ලද ඉන්ධන තෙල්.
1. වි. සම්පූර්ණ වූ ; මනා සේ පිරුණු.
2. අගනා ; ඉහළම තත්ත්වයේ ඇති ;ඉස්තරම්.

සුපිරි බලවතා

නා. ලොවෙහි බලයෙන් ඉහළ රට ; න්‍යෂ්ටික බලය, ආර්ථිකය, යුද්ධ ශක්තිය ආදිය අතින් බලගතු ම රට.

සුපිරු

වි. මනා සේ පිරූ ; මැනවින් පුරවනු ලැබූ.

සුපිහිත

වි. මනා සේ පියන ලද ; මැනවින් වැසූ.

සුපිළිසන්

වි. මනා ව වැසුණු ; මැනවින් පෙර වූ.

සුපු

නා.ප්‍ර. නින්ද ; නිදාගැනීම ; නිද්‍රාව.

සුපුන

වි. මනා සේ පිරුණු ; සම්පූර්ණ ; නො සිස්.

සුපුල්

වි. මනා ව පිපුණු ; පූර්ණව පිපුණු.
නා.ප්‍ර. මී මැස්සා ; බඹරා.

සුපුල්සර

නා.ප්‍ර. මනා සේ පිපුණු නෙළුම් මල ; මැනවින් විකසිත වූ පද්මය.

සුපුෂ්පිත

වි. මනාව පිපුණු ; මැනවින් විකසිත වූ.

සුපූජිත

1. වි. මනා සේ පුදන ලද ; මැනවින් පූජ්‍යත්වයට පත්.
2. බොහෝ සෙයින් ප්‍රකට ; හොඳින් දන්නා.

සුපූරිත

වි. මනා ව පිරුණු ; පූර්ණ වූ.

සුපේසල

1. වි. ඉතා යහපත් ; මනා පැවතුම් ඇති.
2. ඉතා දක්‍ෂ ; බොහෝ සමත්කම් ඇති.

සුපෝෂක

1. වි. මනා සේ පෝෂණයක් සිදුවන ; බොහෝ වූ පෝෂණ ද්‍රව්‍යවලින් යුත්.
2. ක්‍රමයෙන් ගැඹුරු වන වෙරළක් ද පළල් වෙරළබඩ ගස්-වැල් තීරුවක් ද සහිත වැව් පොකුණු පිළිබඳ වූ.

සුපෝෂක ජලය

නා. බොහෝ වූ පෝෂක මාධ්‍යවලින් යුත් ජලය ; සුපෝෂණ ද්‍රව්‍ය සහිත ජලය.