සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1836

සුපටිච්ඡන්න

වි. මනා සේ පෙර වූ ; ඉතා හොඳින් ආවරණය කළ.

සුපටිපන්න ගුණය

නා. මනා කොට පිළිවෙත් පුරන ස්වභාවය.

සුපටුන

නා. යහපත් පටුන ; ඉතා හොඳින් තරණයට උපකාරි වන තොටුපොළ.

සුපණ්ණයා

නා. නාගයන්ගේ සතුරා ලෙස සැලකෙන කල්පිත විශාල පක්ෂියා වන ගුරුළා.

සුපපොස්පේට

නා.ප්‍ර. පොහොර විශේෂයක් ; ඇට හෝ අළු හෝ භාෂ්මික බොර හෝ සමඟ සල්පියුරික් අම්ලය ක්‍රියාකොට සාදනු ලබන රසායනික පොහොරක්.

සුපසන්

වි. ඉතා ප්‍රසන්න ; බොහෝ සේ පහන් වූ.

සුප්

1. නා.ප්‍ර. ආහාර පානයක් ; එලවළු ආදිය දමා වැඩිපුර ජලය එක් කොට තම්බා ගන්නා සාරය.
2. මල් ; පුෂ්ප.

සුප්ත

1. වි. නිදාගත් ; ශයනය කළ.
2. අක්‍රිය වූ.

සුප්ත අවදිය

(පාරිභා.) නා. ඇතැම් බීජ වර්ග ප්‍රරෝහණය වීමට පෙර නිසංසල ව අක්‍රිය ව පවතින කාලය ; බීජවල කලලය මේරීම සම්පූර්ණ වන තුරු කාලය.

සුප්ත ප්‍රබුද්ධ

වි. නිදා පිබිදුණු ; නින්දෙන් අවදි වූ.

සුප්තඝාතක

වි. මැරවර ; මිනීමරු.

සුප්තතාව

1. නා. නිදාගැනීම ; නිද්‍රාව.
2. (පාරිභා.) අක්‍රිය බව.

සුප්තවෙනවා

1. ක්‍රි. නිදාගන්නවා ; බුදියනවා.
2. ඇතැම් බීජ වර්ග ප්‍රරෝහණයට පෙර යම්කිසි කාලයක් අක්‍රිය ව පවතිනවා.

සුප්තිය

1. නා. නිදිමත ; නින්ද.
2. අමතක වූ දේ නැවත මතක් කිරීමේ හැකියාවක් ඇති නිදිමත වැනි සිතේ අවස්ථාව.

සුප්ප

නා.ප්‍ර. බට, වේවැල් ආදියෙන් වියන ලදු ව ධාන්‍යාදිය පොළා ගැනීමට උපයෝගී කරගනු ලබන ගෘහ උපකරණය ; කුල්ල.

සුප්පමත්ත

වි. කුල්ලක ප්‍රමාණ වූ ; කුල්ලක ප්‍රමාණය ඇති.

සුප්ලවාංග

නා.ප්‍ර. ජලයෙහි ක්‍රියාශීලි ව පිහිනන ජලජ ජීවිහු.

සුප්‍රකාශ කලාපය

නා. (පාරිභා.) ප්‍රභාසංශ්ලේෂණය සඳහා සෑහෙන තරම් ආලෝකය තිබෙන මූදේ මතුපිට සිට මීටර 100ක් තරම් ගැඹුර දක්වා වූ ප්‍රදේශය.

සුප්‍රජනකවාදය

නා. වංශ ශුද්ධිය හා ශක්තිය ඇති කිරීමේ ශාස්ත්‍රය ; ගෝත්‍ර දියුණු කිරීමේ විද්‍යාව.

සුප්‍රඥප්ත

වි. මනා සේ පැන වූ ; මැනවින් පනවන ලද.

සුප්‍රතිෂ්ඨිතිභාව

නා.ප්‍ර. නොසැලෙන සේ පිහිටි බව ; ස්ථිර ව පිහිටීම.

සුප්‍රතීත

වි. ඉතා ප්‍රසිද්ධ ; මැනවින් දන්නා.

සුප්‍රබුද්ධ

1. වි. සුපිපි ; මැනවින් ප්‍රබුද්ධ වූ.
2. මනා ව පිබිදෙන ; සුවසේ නැගිටින.
නා.ප්‍ර. ශාක්‍යවංශික රජකුගේ නාමය ; දේවදත්තගේ පියා.

සුප්‍රභ

වි. ඉතා දීප්තිමත් ; බොහෝ සේ ආලෝකවත්.