සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1894

හවඩිය

නා. රන් රිදී ආදී වටිනා ලෝහයකින් කරන ලද ඉණේ බඳින ආභරණ විශේෂයක්.

හවනය

නා. ගිනි දෙවියා උදෙසා බලි පිදීම ; හෝම කිරීම.

හවනවා

ක්‍රි. ශාප කරනවා ; ආක්‍රෝශ කරනවා ; පරිභව කරනවා ; අවලාද කරනවා ; දෙස් තියනවා.

හවනිය

නා. ගිනි දෙවියා පිදීමේ දී ගින්නට දමන හැන්ද.

හවරිය

1. නා. ස්ත්‍රීන්ගේ කොණ්ඩ ලොකු කර බැඳීම, හැඩවැඩ ගැන්වීම ආදියට උපයෝගී කරගන්නා කෙස් හා ලොම් වර්ග ආදියෙන් සකස් කරගනු ලබන කෙස් කැරැල්ල.
2. හරක් වලිගයේ අග ඇති දිග ලෝම.

හව්හරණය

නා. උදව්ව ; පිහිට.

හවි

1. නා.ප්‍ර. අධික දුක සතුට නිසා ඇසෙන් ගලන කඳුළු බිඳ.
2. පිළිවෙළ ; අයුර ; ස්වභාවය.
3. සවිය ; ශක්තිය ; හයිය.

හවීම

නා. මතු කිරීම ; ඇවිස්සීම.

හවුරුද්ද

නා. අවුරුද්ද ; වර්ෂය ; සංවත්සරය.

හවුල

1. නා. බෙදා වෙන් නොකරන ලද දේවල එකතුව.
2. කීප දෙනකුගේ එකතුව.
3. කීප දෙනකු එකතු වී ඉටු කරන කාර්යය.

හවුල ඈවර කරනවා

(පාරිභා.) ක්‍රි. වෙළඳ ව්‍යාපාර ආදියෙහි, ණයතුරුස් බේරා එය අවසන් කරනවා.

හවුල් ඉඩම

(කථා.) නා. කොටස්කාරයන් කීප දෙනකු සතු ඉඩම.

හවුල් ව්‍යාපාරය

නා. ලාභ ලැබීමේ අදහසින් එකමුතුව ව්‍යාපාරයක් පැවැත්වීම.

හවුල් විවාහය

නා. එක පවුලේ සහෝදරයන් කීප දෙනකු එක කාන්තාවක් සමග විවාහ වීම.

හවුල්කරුවා

නා. සමාගමක අන් අය සමඟ කොටසක් අයිති තැනැත්තා ; කොටස්කාරයා.

හස

1. නා. අස්වැන්න ; සස්‍යය.
2. හංසයා ; තිසරා.
3. සිනාව ; හාස්‍යය.
4. අශ්වයා ; තුරගා.
5. සමීපය ; අසබඩ.
6. සිහින් නූල ; කෙන්ද.
7. දුක; වේදනාව.
8. ව්‍යඤ්ජනාක්ෂරය.

හසනය

නා. සිනාව ; සිනාසීම ; හාසය.

හසර

1. නා.ප්‍ර. හැසිරීම ; පැවැත්ම.
2. ආශ්‍රය.
3. පාර ; මාවත ; මාර්ගය.
4. යෑම ; සංචාරය.
5. පිළිවෙළ ; ක්‍රමය.

හසසර

1. නා.ප්‍ර. හංස නාදය.
2. හංස ගමන.

හසළ

වි. පුරුදු කළ ; පුහුණු කළ ; මැනවින් දත් ; නිපුණ.

හස්

1. නා.ප්‍ර. හංසයා.
2. (හංස) මුද්‍රාව ; ලාංඡනය ; සටහන.
3. ඇඟිලි මුද්ද ; පේරැස් මුද්ද.
4. ගොයම ; බෝගය : සස්‍යය.
5. සතුටු ; සිනාව ; හාස්‍යය.

හස් මුදුව

නා. හංස රූපය සහිත මුද්‍රාව ; රාජ මුද්‍රාව.

හස් වදිනවා

ක්‍රි. සස්‍ය හටගන්නවා ; අස්වැන්න ඇති වෙනවා.

හස්ත කර්මාන්තය

නා. යන්ත්‍ර සූත්‍ර නොමැති ව ප්‍රධාන වශයෙන් දෑත්වල හුරුකම ප්‍රයෝජනයට ගනිමින් කලාත්මක මුහුණුවරින් ද යුක්ත කොට කරන තාක්ෂණික කාර්යය.