සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 3

අංගපුලාව

1. (කථා.) නා. යහපත් පැවැත්ම.
2. නා. මනා හැඩහුරුකම.

අංගම

1. නා. මතුරා පිඹින නපුරු මන්ත්‍ර විශේෂයක්.
2. නා. දේවපූජා සඳහා පවත්වන නැටුම් විශේෂයක්.

අංගම් පොරය

1. නා. දෙදෙනකු අතරේ කරන කඩු හරඹය; ද්වන්ද්ව යුද්ධය.
2. නා. මල්ලවපොර වැනි ක්‍රීඩා විශේෂයක්.

අංගය

1. නා. අතපය ආදි ශරීරයේ කොටස්; ශරීර අවයවය.
2. නා. සිරුර; කය; ශරීරය.
3. නා. කොටස; භාගය; ප්‍රභේදය.
4. නා. ලක්ෂණය.
5. නා. ගුණය; ශීලය; ව්‍රතය; ප්‍රතිපත්තිය.
6. නා. පිළිවෙළ; ක්‍රමය.
7. නා. කුඹුරක කෙළවරක පිහිටි නෙරාගිය තීරය; වෙල්යායකින් පසෙකට විහිදී ගිය පටු තීරය.

අංගවිකල

වි. ශරීර අවයව හරියාකාර ව නොපිහිටි; අංග විකෘති.

අංගහාරය

නා. අත පා ආදි අවයව සෙලවීම; අංග චලනය.

අංගහීන

වි. ශරීරයේ අවයව අඩු වූ; අසම්පූර්ණ අවයව ඇති.

අංගාංගී

[අංග + අංගී]
නා.ප්‍ර. අංග සහ උපාංග; ශරීරය සහ අත් පා ආදි අවයව.
වි. අංග සහ උපාංග දරන.

අංගාණිය

නා. කඩ වීදිය; වෙළඳ වීථිය.

අංගාර ධානිකාව

නා. අඟුරු කබල; ගිනි කබල.

අංගාර මාංසය

නා. ගිනි අඟුරෙහි ලා පුලුස්සා ගත් දඩමස; ගින්නේ පළහන ලද මස.

අංගාරකය

1. නා. ගිනි අඟුර; නිවුණු ගිනි අඟුර.
2. නා. අඟහරු හෙවත් කුජ ග්‍රහයා.

අංගාරකරණය

1. (පාරිභා.) නා. ද්‍රව්‍යයක් අඟුරු කාබන් හෝ කෝක් බවට පත් කිරීම.
2. (පාරිභා.) නා. පිටපත් ගැනීම සඳහා කඩදාසියක කාබන් ආලේප කිරීම (=carbonisation).

අංගාරධර

(පාරිභා.) වි. අංගාරධර පාෂාණ පිළිබඳ; ගල්අඟුරු සාදන (=Carboniferous)

අංගාරමය

වි. අඟුරු වූවාක් ලෙස පෙනෙත; කාබන් ඇතුළත් අවසායිත නිධි පිළිබඳ වූ (=Carbonaceous)

අංගාරය

1. නා. අඟුර; ගිනි අඟුර.
2. නා. අඟුරුවල ඇති කාබන් නම් වූ තාත්වික පදාර්ථය.

අංගාරිකාම්ලය

නා. අංගාර ධාතුව දැවීමෙන් හෝ සංයුක්ත වස්තු කුණු වී පැසීමෙන් හෝ හටගන්නා වායුව; කාබන් සහ ඔක්සිජන් සංයෝග වූ කාබන්ඩයොක්සයිඩ් වායුව.

අංගිය

1. නා. සිරුරක් ඇත්තී; ස්ත්‍රිය.
2. නා. ඇඟ ලන සැට්ටය; කංචුකය.

අංගී

වි. අවයව ඇති; සිරුරක් ඇති; අංගවලින් යුක්ත.

අංගීරස

නා.ප්‍ර. බුදුන්වහන්සේ.
වි. සිරුරෙන් විහිදෙන රැස් ඇති; බබළන සිරුරක් ඇති.

අංගුට්ට

(කථා.) නා. අත්පාවල මහ ඇඟිල්ල; මාපටැඟිල්ල.

අංගුටු මිට්ටා

(කථා.) නා. අඟුටුමිට්ටා.

අංගුත්තර නිකාය

නා.ප්‍ර. පාලි සූත්‍ර පිටකයේ නිකාය ග්‍රන්ථ පහ අතුරින් එකක්; මෙහි නිපාතයක් පාසා පිළිවෙළින් අංග වැඩි වන සේ යොදා තිබෙන බැවින් එනම් විය.