සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 350

ඍජ්වාලම්බ

[සෘජු + ආලම්බ]
වි. සෘජුකෝණාකාර ව පිහිටි; ලම්බ.

ඍජු

1. වි. ඇද නැති; කෙළින් පිහිටි.
2. වි. අවංක; අකුටිල.

ඍජු රේඛාව

නා. ලක්ෂ්‍ය දෙකක් යාකරන කෙටි ම රේඛාව; සරල රේඛාව; වක් රහිත රේඛාව.

ඍජුකාරක

(පාරිභා.) වි. උඩුකුරු කරන; ඌර්ධ්ව කාරක (= erectings).

ඍජුකෝණ ත්‍රිකෝණය

(පාරිභා.) නා. එක් කෝණයක් ඍජුකෝණයක් වූ ත්‍රිකෝණය.

ඍජුකෝණය

(පාරිභා.) නා. අංශක අනූවකින් යුක්ත කෝණය.

ඍජුකෝණාස්‍රය

(පාරිභා.) නා. සමාන අභිමුඛ භූජවලින් ද සියලු කෝණ සෘජුකෝණවලින් ද යුක්ත වූ දිගැටි චතුරස්‍රය; සමචතුරස්‍රය (=rectangle).

ඍණ

(පාරිභා.) වි. බින්දුවට වඩා වටිනාකමෙන් අඩු; ඌන.

ඍණ පත්‍රය

(පාරිභා.) නා. (සංස්ථාවක හෝ වෙළඳ සමාගමක හෝ පොළියට මුදල් තැන්පත් කළ විට නිකුත් කෙරෙන) ණය ඔප්පුව (=debenture).

ඍණ ශෝධනය

නා. ගත් දෙය ආපසු දීම; ණය ගෙවීම.

ඍණ සඞ්ඛ්‍යාව

(පාරිභා.) නා. වටිනාකමින් බින්දුවට වඩා අඩු ගණන යොදා ඇති සංඛ්‍යාව (=negative number).

ඍණග්‍රස්ත

වි. ණයට හසු වූ; ණයට ගොදුරු වූ; ණය වූ.

ඍණදානය

1. නා. ණය දීම.
2. නා. ණය ගෙවීම.

ඍණධ්‍රැවය

(පාරිභා.) නා. (බැටරියක) ඉලෙක්ට්‍රෝන ආරෝහණය කරන ලද විද්‍යුත් අග්‍රය (=negative pole).

ඍණය

1. නා. ආපසු දීමට ලබාගත් මුදල් ආදි දෙය.
2. (පාරිභා.) නා. සෘණ ලකුණ හෙවත් අඩු කිරීමේ ලකුණ.
3· නා. ජලය.
4. නා. බළකොටුව.

ඍණරාශිය

(පාරිභා.) නා. වටිනාකමින් බිංදුවට වඩා අඩු රාශිය; ඉදිරියෙහි ඍණ ලකුණ යොදා ඇති රාශිය.

ඍණාග්‍රය

(පාරිභා.) නා. කෝෂයක අඩු විද්‍යුත් විභවයෙන් යුතු කෙළවර; කැතෝඩය (=cathode negative terminal).

ඍතය

නා. ලෝකය හා ස්වභාව ධර්මය පාලනය කරන්නා වූ නියාම ධර්මය; ලෝක නියාමය; සත්‍යය.

ඍතු කාලය

1. නා. ඍතු සංඛ්‍යාත කාලය.
2. නා. ඔසප් කාලය; මාස් ශුද්ධි අවස්ථාව.
3. නා. ඔසප් වීමෙන් පසු (ගැබ් ගැනීමට සුදුසු) කාලය.

ඍතු ගුණය

නා. (ශීතෝෂ්ණාදි) ස්වභාව සම්බන්ධ තත්ත්වය හෙවත් කාලගුණය.

ඍතු චර්යාව

නා. ඍතු ගුණය අනු ව පැවතිය යුතු පිළිවෙළ.

ඍතු නියාමය

1. නා. වසන්තාදි ඍතු ස්වාභාවික ව ඇති වීම; ඒවා පැමිණෙන පිළිවෙළ හෝ ක්‍රමය.
2. නා. ඒ ඒ ඍතුවලට අනුකූල ව වෘක්ෂලතාවල මල් පිපීම.

ඍතු පීඩාව

නා. ඍතු ගුණය නිසා ඇති වන ශරීර පීඩාව.

ඍතු භේදය

නා. ඍතුවල බෙදීම; ඍතු මාරුවීම.