සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 369

ඒකාධිකාර

[ඒක + අධිකාර]
1. වි. (යම් භාණ්ඩයක් නිපදවීම හා අලෙවිය හෝ සේවාවක් ඉටු කිරීම හෝ පිළිබඳ) තනි බලය හෝ අයිතිය ඇති.
2. වි. තනි පාලනයට අයත්; තනි බලය ඇති.

ඒකාධිකාරී මුළුව

(පාරිභා.) නා. සමාගම් කීපයක් එකතු වී වෙළඳ - පොළවල් බෙදා ගැනීමට හා නිෂ්පාදන ප්‍රමාණය බෙදා ගැනීමට ගිවිසුමක් ඇති කොට පිහිටුවා ගත් සංවිධානය.

ඒකාධිපත්‍යය

[ඒක + ආධිපත්‍යය]
නා. එක ම අධිපතිභාවය; ඒකාධිපතිකම.

ඒකාධිපති

[ඒක + අධිපති]
වි. එක ම අධිපති වූ; තනි මතය අනු ව ක්‍රියා කරන; ආඥාදායක.

ඒකාධිපතියා

නා. තනි මතය අනු ව ක්‍රියාකරන්නා; එක ම අධිපතියා; ආඥාදායකයා.

ඒකාධිෂ්ඨානය

[ඒක + අධිෂ්ඨානය]
1. නා. එක ම දෙයක් ආධාර වීම හෙවත් ප්‍රතිෂ්ඨා වීම; එක ම පදනම; එක ම ආධාරකය.
2. නා. ස්ථිර තීරණය.

ඒකානති නැම්ම

(පාරිභා.) නා. ඇතැම් පාෂාණ තට්ටු සේ එක් අතකට නැමුණු නැම්ම.

ඒකානතිය

[ඒක + ආනතිය]
(පාරිභා.) නා. ඇතැම් පාෂාණ තට්ටු සේ එක පැත්තකට නැමී පැවතීම; එක් අතකට නැමීම (=monoclinal fold).

ඒකානතිසල්පර්

(පාරිභා.) නා.ප්‍ර. ප්‍රිස්මාකාර ගෙන්දගම් කැට; ප්‍රිස්මර් සල්පර් (=prismatic sulphur).

ඒකාන්ත

1. වි. නිශ්චිත; නිසැක; නියත; ස්ථිර.
2. වි. අත්‍යන්ත; අතිශය.

ඒකාන්තර

(පාරිභා.) වි. එක අතරක් ඇති; එකක් හැර එකක් වශයෙන් සිදු වන හෝ පවත්නා.

ඒකාන්තර කෝණ

(පාරිභා.) නා.ප්‍ර. සමාන්තර රේඛා දෙකක් හරස් රේඛාවකින් කැපුණු විට ඒ රේඛා දෙක අතර පිහිටි කෝණ හතරින් එකක් හැර එකක් වශයෙන් ගන්නා කෝණ යුගල (=alternate angles).

ඒකාන්ධකාර

[ඒක + අන්ධකාර]
වි. තනිකර අඳුරෙන් යුක්ත වූ; ඝනාන්ධකාර.

ඒකාබද්ධ

[ඒක + ආබද්ධ]
වි. එකට බැඳුණු; එක් වුණු; අන්‍යෝන්‍ය සම්බන්ධය ඇති.

ඒකාබද්ධ අරමුදල

(පාරිභා.) නා.ප්‍ර. නිශ්චය කාර්යයක් සඳහා වෙන්කර නැති වූ ද රජයේ වියදම් සඳහා ඕනෑ ම විටෙක ගත හැකි වූ ද මධ්‍යම ආණ්ඩුවට අයත් අරමුදල (=consolidated fund).

ඒකාබද්ධ සේවය

නා. එකට බැඳුණු සේවය(=combined service).

ඒකායන

වි. එක ම ස්ථානයක් කරා යන; එක ම අරමුණක් අපේක්ෂා කරන.

ඒකායන මාර්ගය

1. නා. යම් ස්ථානයක් කරා පමුණුවන එක ම මඟ; නිවන කරා යන මඟ.
2. නා. එක ම මඟ; නොවරදින ක්‍රමය; සැබෑ මාර්ගය.

ඒකාරම්මණික

[ඒක + ආරම්මණික]
වි. එක් අරමුණක් මත පිහිටි; එක අරමුණක සිත යෙදවූ.

ඒකාර්ථ

වි. එක් අර්ථයක් හෙවත් තේරුමක් ඇති.

ඒකාර්ථ දෝෂය

නා. (අලං.) එක ම අර්ථය නැවත නැවත යෙදීමේ වරද; පුනරුක්ත දෝෂය.

ඒකාර්ථක

(පාරිභා.) වි. සැක රහිත අර්ථයක් ඇති; ඉතා පැහැදිලි.

ඒකාර්ධය

[ඒක + අර්ධය]
නා. එක් අර්ධය හෙවත් අඩ; සම භාගය.

ඒකාලඞ්කාර

වි. සම්පූර්ණයෙන් අලංකාර කරන ලද; මුළුමනින් සරසන ලද; ඒකාලඞ්කෘත.