සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 370

ඒකාලෝක

[ඒක + ආලෝක]
වි. සම්පූර්ණයෙන් ආලෝකවත් වූ; මුළුමනින් එළිය වූ; ආලෝකයෙන් ම පිරුණු.

ඒකාවර්ත

1. නා.ප්‍ර. සුළියක් මෙන් එක අතකට කැරකීම.
2. නා.ප්‍ර. සම්පූර්ණයෙන් භ්‍රමණය වීම; එක් වරක් කැරකීම.

ඒකාවලිය

1. නා. තනි හුයකින් කරන ලද දාමයක්; එක් වැල් පට.
2. (ජ්‍යෝති.) නා. ජන්ම අවස්ථාවෙහි පිළිවෙළින් ග්‍රහයන් රාශිගත වීමෙන් යෙදෙන රාජයෝගයක්.

ඒකාසන

1. නා.ප්‍ර. කමටහන් මෙනෙහි කරමින් එකතැන හුදකලාව හිඳීම.
2. නා.ප්‍ර. එක් අසුනේ හිඳ කරන භෝජනය.

ඒකාසනික

වි. හිඳිනා ඉරියව්ව වෙනස් නොකොට එක අසුනෙහි හිඳ අහර වළඳන.

ඒකාසීති

නා.ප්‍ර. අසූ එක.

ඒකින්ද්‍රිය

[ඒක + ඉන්ද්‍රිය]
වි. එක් ඉන්ද්‍රියක් ඇති; වෘක්ෂලතා මෙන් ජීවිතින්ද්‍රිය පමණක් ඇති.

ඒකීකරණය

නා. එක් කිරීම; එකක් බවට පැමිණවීම; සම්බන්ධ කිරීම.

ඒකීතෘත

වි. එකට එක් කළ; එකට සම්බන්ධ කළ; ඒකීයත්වයට පැමිණියා වූ.

ඒකීභාවය

1. නා. එකක් ව පැවතීම; සමස්තයක් වීම.
2. නා. අඛණ්ඩතාව.
3. නා. තනිබව; හුදකලාබව; සමූහයෙන් ඈත් ව විසීම.

ඒකීය

වි. එකට එක් වූ; එකට සම්බන්ධ වූ; අඛණ්ඩ; අභින්න.

ඒකීය ක්‍රමය

(පාරිභා.) නා. එකක අගය අනු ව කිහිපයක අගය සෙවීමේ ගණිත ක්‍රමය (=unitary method).

ඒකීය රජය

නා. ව්‍යවස්ථාදායක උත්තරීතර බලය එක ම මධ්‍ය බලමණ්ඩලයක් මඟින් ක්‍රියාවේ යොදවනු ලබන රාජ්‍යය.

ඒකෝද්භූත

[ඒක + උද්භූත]
වි. එක්වර ම පැන පැඟුණු; එක්වර ම හටගත්; එකට පහළ වූ.

ඒකෝන්මාදය

[ඒක + උන්මාදය]
නා. එක් අදහසක් හෝ කරුණක් අරභයා ඇති වන උමතුව.

ඒගාර්

(පාරිභා.) නා.ප්‍ර. මුහුදු පැළෑටි විශේෂයකින් නිෂ්පාදනය කෙරෙන ජෙලටින් වැනි ද්‍රව්‍යයක්.

ඒජන්ත

1. නා.ප්‍ර. දිස්ත්‍රික්කයක රාජ්‍ය පරිපාලන කටයුතු භාරව ක්‍රියා කරන ප්‍රධාන නිලධාරියා; දිසාපතිවරයා.
2. නා.ප්‍ර. යම්කිසි පුද්ගලයකු හෝ කිසියම් ආයතනයක් හෝ වෙනුවෙන් ක්‍රියා කරන්නා හෙවත් බලධරයා; නියෝජිතයා.

ඒඩ

වි. කන් නොඇසෙන; බිහිරි.

ඒඩකයා

නා. එළුවා.

ඒඩමූක

වි. ගොළු බිහිරි වූ.

ඒඩ්ස්

නා.ප්‍ර. රෝග නිවාරක ශක්තියට දරුණු ලෙස හානි පමුණුවන මාරාන්තික රෝගයක් (=AIDS).

ඒතදග්‍රය

නා. මේ තෙමේ මේ ආකාරයෙන් අග්‍රය, හෙවත් ශ්‍රේෂ්ඨ යැයි බුදුන් වහන්සේ විසින් වදාරා දෙන ලද තනතුර.

ඒත්තු

වි. පිළිගත හැකි; සුදුසු; යහපත්.
නා.ප්‍ර. දැනීම; වැටහීම; පිළිගැනීම.

ඒත්තු ගන්නවා

ක්‍රි. තේරුම් ගන්නවා; වටහා ගන්නවා; අවබෝධ කර ගන්නවා.