සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 40

අඩ තැන්න

නා. සේදී යෑමෙන් හා ජීර්ණයෙන් විෂම ලෙස සකස් වූ තැනිතලා භූමිය; අර්ධ තැනිතලාව.

අඩ නින්ද

නා. මඳ නින්ද; කපි නිද්‍රාව.

අඩ පය

නා. නිසි බිම නොසිටින පය; ඇද කර බිම තබන කකුල.

අඩ පෙහෙවස

නා. එක් රැයක් හෝ එක් දවාලක් රකින උපෝසථය; අර්ධ උපෝසථය.

අඩ බම

නා. අර්ධභ්‍රමය; හතර පදයෙන් යුත් පද්‍යයක එක් එක් පේළියෙහි මුල් අකුරු සතර බැගින් ගෙන, වම සිට දකුණටත්, ඉහළ සිට පහළටත් කියවූ කල එක ම ලෙසට කියැවෙන රචනා විලාසය.

අඩ බැලුම

නා. අඩැසින් බැලීම; නෙතඟ බැල්ම; කටාක්ෂ නිරීක්ෂණය.

අඩ මත

නා. මාත්‍රාවකින් අඩ කොටස; ලඝු අක්ෂරයක් උසුරුවන කාලයෙන් අර්ධය; අර්ධ මාත්‍රාව.

අඩ මස

1. නා. මාසයකින් අර්ධය; දින පහළොවක කාලය.
2. නා. මෑ, උඳු, මුං වැනි ධාන්‍ය ඇටයකින් භාගයක බර ප්‍රමාණය.

අඩ මස්ස

නා. මස්සකින් අඩ කොටස; සතර වියට හෙවත් වී ඇට හතරක බර; හුනිඳ හෙවත් ඔලිඳ ඇටයක බර.

අඩ මුකුළු

වි. පිපී ගෙන එන; මඳක් විකසිත වූ.
නා.ප්‍ර. යන්තමින් පාන සිනා; මඳ සිනා; අඩ සිනා.

අඩ යටිය

නා. යටියෙන් භාගයක් වූ ආයුධය; තෝමරය; හෙල්ල.

අඩංගම

(කථා.) නා. ගවයන් රැළේ වැටීම; සිවුපාවුන්ගේ මද

අඩංගු

වි. ඇතුළත්; අයිති.

අඩක්කම

1. නා. රැක බලා ගැනීම; රක්ෂාවරණය.
2. නා. සිර වීම; අඩස්සි වීම.

අඩකුඹු කරනවා

ක්‍රි. රාජ්‍යනායක අභාව ආදි අවස්ථාවලදී ශෝකය ප්‍රකාශ කිරීම පිණිස ජාතික කොඩිය අර්ධ වශයෙන් ඔසවා තබනවා; කුඹ ගසේ ඉහළට නොඔසවා එහි අඩක් උසින් ඔසවා තබනවා.

අඩකෝට්ට

නා.ප්‍ර. අවහිරය; බාධාව; වැළකීම.

අඩගහණ

නා.ප්‍ර. පෘථිවිය හා සූර්යයා අතරට සඳ ද සූර්යයා හා සඳ අතරට පෘථිවිය ද පැමිණීමෙන් සූර්යයාගේ හෝ චන්ද්‍රයාගේ ප්‍රභාව අර්ධ වශයෙන් වැසී යෑම.

අඩඩ

[අඩ + අඩ]
නා. අඩින් අඩ; භාගයෙන් භාගය; සතරින් කොටස.

අඩතල

වි. සම ව නොපිහිටි; සමතල ව නොසිටි.

අඩදඩ

1. වි. ඉක්මන්; කලබල; කැලඹුණු,
2. වි. කලහකාරී.

අඩදමු

වි. අඩක් දැවුණු; බාගයක් දා ගිය.

අඩදැණි

වි. අඩක් දණ ගැසූ; එක් දණක් බිම එබූ; අර්ධ ජානුක.

අඩන්තේට්ටම්

නා.ප්‍ර. හිංසාව පීඩාව; අතින් පයින් තැළීම; බලහත්කාරකම.

අඩපණ

වි. ශක්තිය අඩු; බෙලහීන; දුර්වල; මලානික.